සංස්කෘතික උරුමය

ගම්මඩුව


සෞභාග්‍ය, සශ්‍රීකත්වය, වැස්ස අරභයා මෙන්ම බෝවන රෝග පැතිරයාම වැළැක්වීමට සිංහල ගැමියෝ ගම්මඩුව ශාන්තිකර්මය පවත්වති.විවිධ පළාත්වල දෙවොල් මඩුව, පුණාමඩුව, පහන්මඩුව, ගී මඩුව කිරිමඩුව හා හෑල්ලූම්මඩුව වශයෙන් සුළු වෙනස්කම් සහිතව සතරවරම් දෙවියන් මුල්කරගනිමින් මහා සාම්ප‍්‍රදායික හා චූල සාම්ප‍්‍රදායික ගණයට අයත් දෙවියන් උදෙසා කරන ශාන්ති කර්මය ගම්මඩුවයි.
අස්වැන්න සරුවුවහොත් දෙවියන් පිදීමටත් වැස්සෙන් හෝ නියඟයෙන් හානිවූ කළ දෙවියන්ට කන්නලව් කිරීමටත් ගම්මඩු නැටීම සිරිතකි. එසේම සිංහල වෛද්‍ය ක‍්‍රමයටත් ගම්මඩුව බෙහෙවින් සමීපවෙයි. ගිනිමැලේ පෑගීම, බාහිර වටපිටාවේ නියඟ විපර්යාස මෙන්ම මිනිස් සිරුරේ හටගන්නා ගිනියම් ලෙඩ රෝග, අධික තාපය දුරුකිරීමේ මෙහෙයක් හැටියටත් යොදා ගැනෙයි. කිරි ඉතිරැවිම, ගිනියම් පොළොව සිසිල්වී පලදාව වැඩි කැර සෞභාග්‍යය ළඟා කැර ගැනීම ගම්මඩුවෙන් සංකේතවත් කරයි.
ගැමියා තම ගොවිතැනින් ලබන අස්වැන්න පරිභෝජනයට පෙර කොටසක් දෙවියන්ට පූජා කරයි. එය අඩුක්කුව/අක්යාල නම් වෙයි. ගම් ආශි‍්‍රතව දෙවියන් වෙනුවෙන් පුද පූජා පවත්වන දේවාලවලදී වාර්ෂිකව දෙවොල් මඩු යාගය පවත්වයිි. අඩුක්කුවවෙන් දේව දානය දි දේවාශිර්වාද පැතීම ගොවියා වාර්ෂිකව සිදුකරන කාර්යයකි.
එක් ගමෙක පමණක් නොව ගම් හතක පමණ පිරිසක් එකතුවන ගම්මඩු ශාන්තිකර්මය විවිධ හේතූ නිසා ක‍්‍රමයෙන් අපගෙන් ඈත්වී අභාවයට යමින් පවතී. පාරම්පරිකව හා විවිධ ගුරුගෝල සම්බන්ධතා මත පැවතෙමින් ආ මේ මහා ආගමික මෙන්ම සංස්කෘතික මංගල්‍යය පරම්පරාව කෙළවර වීමත්, නාගරීකරණයත්, කුල බලපැමත්, ආර්ථික ව්‍යුහයේ වෙනස්වීමත්, රැුකියා සඳහා ගමෙන් පිටවීමත්, විදේශගතවීමත්, ගුරුමුෂ්ටි තබා ගැනිමත් වැනි හේතූ නිසා ද රූපවාහිනිය, ජංගම දුරකථනය, අන්තර්ජාලය වැනි නවීන රසවින්දනාත්මක මෙවලම් නිසා ද තර්ජනයට ලක් වී ඇත. ගම්මඩුවේදී පත්තිනි දේවිය, දෙවොල් දෙවි ප‍්‍රධාන සතරවරම් දෙවියන් ප‍්‍රාදේශීයව වෙනස්වුවත් සමන්දෙවි
නාථදෙවි විෂ්ණු දෙවි කතරගම දෙවි විභීෂණ දෙවියන්ගෙන් සතර දෙනෙක් පුද ලබති.
දෙවොල් මඩුවේදී අනුගමනය කරන පුජා රටා ස්තී‍්‍ර පුරුෂයන් අතර ප‍්‍රජනන ක‍්‍රියාවලිය උත්තේජනය කිරීමේ සියුම් පණිවුඩයක් ද දෙයිග පරපුර පවත්වාගෙන යෑමෙන් පොළොවේ සශ්‍රීකත්වය වර්ධනය වෙතියි යන විශ්වාසය මෙම ශාන්ති කර්මයට ද පසුබිම් වී ඇතැයි පැරැණියෝ කියති
ගම් මඩුවක ප‍්‍රධානයා කපුපත්තිනි, පත්තිනිහාමි පත්තිනි මහත්මයා, කපුරාල නොහොත් කපු මහත්මයාය. මඩු ශාන්ති කර්මයට එක්වන ඇදුරන් නිති තිසරණ පන්සිල් රකින නුවණැති, ශාස්ත‍්‍ර මනාකොට උගත් අය විය යුතුය. මහත් ඝෝෂා හඬින් කතාකරන ශබ්ද නගා අඩි තබමින් වටපිට බලමින් ගමන් කරන වැඩි උස් හෝ මිටි නොවන තළෙලූ පැහැපත් පී‍්‍රති ජනක කතා ඇති ඇදුරන්ම යෝග්‍ය යැයි දක්වයි. හිසකෙස් වඩා බොකුටුව දත් බොල්ලෑ දෑසින් කබ කඳුළු ගලන ඇඟ, කොරළ ඇති, වපර ඇස් ඇති, දත් අවලක්ෂණ ඇදුරන් යාගයට නොගතයුතු බව පැරැණි යාග කවිවලින් පැවැසෙයි. වාචාල බස් දොඩන, සුරාසොඬ, අවකල් කි‍්‍රයා ඇති ඇදුරන්ගෙන් ශන්තියක් නොලැබේ.

මඩුපුර යාග කවි

උකුල් ඇටය නෙරවා පස්ස දික් වන
කකුල් බකල වී තොල් කබර සෑදෙමින
මයිල් නැතිව ඇඟ තැන තැන කැලල් වන
කෝල් මුර යාගයට නොගනු මේ දන
සුභ වැඩක් ඇරැඹීමට ප‍්‍රථම කප් සිටුවීම පුරාණයේ සිට පැවතෙන සිංහලයාගේ චාරිත‍්‍රයකි. ගම්මඩුවක් නටන බව ඊට සතියකට හෝ දෙකකට කලින් කප් සිටුවා භාරහාර වෙති. කිරි සහිත රුකකින් හත් රියනක් උසට කපාගත් කණුවක් කපා ගනියි. කප සිටවූ දා සිට දින ගණන අනුව නවදා ගී මඩුව, හත්දා ගී මඩුව, පස්දා ගී මඩුව, තුන්දා ගී මඩුව වශයෙන් වෙයි.
රජ කුලයට රන් තොරණින් නව දවසක් යාග කළයි බමුණුකුලට මිණි තොරණින් හත්දවසක් යාග කළයි වෙළෙඳ කුලට පිළිතොරණින් පස් දවසක් යාග කළයි ගොවි කුළයට රඹ තොරණින් තුන් දවසක් යාග කළයි
උඩින් දෙපසට විහිදෙන සේ පල දෙකේ පියස්සකින් යුත් මඩුව (පොල් අතු සෙවිලි කළ) දිගින් රියන් හැටකි. පළලින් රියන් විස්සකි නැත්නම් තිහකි. මඩුව ඉදිරිපිට නැටුම් හා පුද චාරිත‍්‍ර ඉටුකිරීම සඳහා කොටසකි. මඩුවේ සිට මෙම කොටස වැටකින් වෙන්කරනුයේ් පිටත සිට නැරැඹිය හැකි ලෙසයි. මෙම වැට ද ගොක් කොළ වලින් සරසයි. මඩුවේ එක් පසෙක අලංකාර තොරණක් ඉදිකරයි. සෙසු පැති හා තොරණට මුහුණ ලා ඇති ඉදිරි මායිමේ මල් පැල පුද ලබන සෙසු දෙවියන් උදෙසාය.
තොරණ ගේ, පත්තනි තොරණ හෙවත් මකර තොරණ රඹ පතුරු සැරසිලි මොස්තරයෙන් මෙන්ම දේශීය මාලා කර්ම, ලතා කර්ම, රටාවන්ගෙන් ද අලංකෘත වෙයි. දිග හත් රියනක් විය යුතුයැයි සම්මතයෙකි.
තොරණ පුවක් පටි බැඳ, හබරලකොළ. කෙසෙල් කොළ, කෙසල් පතුරු, පොල් කොළ, ගොක් කොළ, ඉරටු, ඉඳිකටු (ඉඳිගසේ කටු) ආදියෙන් කෙරෙන සැරසිලිවල දී වල් බෙලි, වල්ල පට්ටා ආදි පට්ටා විශේෂයෙන් තොරණ නිමකර පලාපෙති, වඩිම්බු, ලියපත්, තිරිඟි තල හා ගල්බිංදුව වැනි කැටයම් මෝස්තරවලින් හැඩකරයි රජවරුන් දෙදෙනකුගේ රූප, ගජබා රජු හා කේරළයේ සේරමාන් පෙරුමාල් රජු දෙපස ද ගිරා, පරවි හා වටු රුප ද චිත‍්‍රනය කරයි.
පොරණ පළමු නිරිඳුගෙ ලෙඩ හරින්න
කරන යාග බමුනන් කැඳවමින් සි
පුරණ පති දහම් පත්තිනි දෙවි නම
තොරණ දැකපු බලයෙන් දොස ගියෙ දුර
ගිරා පරවියො මයුරකෝකිල වටට සදමින් ආසනේ
සරා රන්කොත් පිහිටුවාගෙන මුදුන මකරිඳු වාහනේ
සරා සුදු උඩුවියන් බඳිමින් රඟට සිතුවම් කරමිනේ
විරාජිත මේ තොරණ බලයෙන් සියළු විපරිත හරිමිනේ
පත්තිනි දෙවියන් ප‍්‍රමුඛ දෙවියන් වෙනුවෙන් කැප කරන පූජාවස්තුවක් වන තොරණ ආසන තුනකින් සමන්විත වෙයි. ප‍්‍රධාන ආසන පත්තිනි දේවියගේ පත්තිනි සළඹ අඹය දුන්න ආදී පූජා භාණ්ඩ තැන්පත් කිරීමටයි.
කේරළයේ වේරමාන්පූර්හි සේරමාන් පෙරුමාල් රජුගේ හිසරදයක් දුරලීමට ගම්මඩුව මුලින්ම පැවැත්වු බව ජනවහර ගෙන හැරපායි. එනමුත් දෙවොල් මඩු කවි වලදී මුල් ස්වරූපයට දේශීයත්වයක් කාවද්දා දේශීය රජකු හැටියට ද දක්වයි
එකල් පෙර දවසා
සේරමානන් රජුගේ සිරසා
ගිනිජල් ගති රොසා
එදා ගම්මඩු ගන්න එනිසා
විවිධ පෙදෙස්හි ගම්මඩුවෙහි සුළු වෙනස්කම් තිබුනත් පහතරට සබරගමුව හා උඩරට පෙදෙස්හි ගම්මඩුවේ බොහෝ වෙනස්කම් වෙයි. එනමුත් පත්තිනි භාගය වාහල භාගය හා දෙවොල් භාගය යනුවෙන් පත්තිනි දේවිය, දෙවොල් දෙවි, වාහල දෙවි වෙනුවෙන් කොටස් තුනකි.
පහතරට ගම්මඩුව මැල කැපීම, පහන් පූජාව කාල පන්දම් පිහිටැවීම, පිදේනි දීම, යහන් පිදීම, බිසෝකප සිටුවීම, තොරණ යාගය, පත්තිනි නැටුම, තෙල්මෙ නැටුම, වාහල නැටුම, අඹ විදමන, රාම මැරිල්ල හා මරා ඉපැද්දීම, දෙවොල් නැටීම හා මැල පෑගීම, කිරි ඉතිරවීම, ගරා නැටුම දෙවියන්ට පින්දීම හා දානය වශයෙන් පෙළ ගැස්වෙයි.

මඩු පේ කිරීම

දෙවොල් මඩු ශාන්ති කර්මය ආරම්භක දින මඩු පේ කරයි. පසු දිනයේ මඩුව නටයි. මඩුව පැවැත්වීම සඳහා කපු මහතා ගමේ සීමාවට පැමිණ සක් පිඹ තමන් පැමිණි බව දන්වයි. උඩුවියන් පාවඩ සහිතව දේවාභරණ රැගත් කපු මහතා ගැමියන් සමඟ ගම සතර කොනේ මල් යහන් වෙත බෙර හා තූර්ය වාදන සහිතව පේලි යයි. මල් යහන්වල පහන් දල්වා යාතිකා කර දෙවියන්ට පින්දී ගම්මඩු භූමියට එති.

තොටමෙට යාම හා ඔරුමාල බත් පූජාව

පසු දින නානුමුරය සඳහා කපු මහතා ඇතුළු ඇදුරෝ තොටමෙට යති. සන්ධ්‍යාවට පෙර ගංතොටත්, ඇළක්, දොළක් වෙත ගොස් දිවුල්, නුග, කලාඳුරු, නෙල්ලි ආදී කොළ යුෂ ද දෙහි, සඳුන්, කපුරු කහ මුසුකළ ජලයට බහා පිළියෙළ කළ නානුවලින් හිස් සෝදා නා පිරුවට ඇඳ යාගයට සූදානම් වෙති. ගම්මඩුවකදී නානුමුරයට පසුව ඔරුමාල බත පූජා කරයි. නොඉඳුල්ව පිසින ලද බතක් සමග හත් මාළුවක් නෑඹිලියක දමා ජලයට දමයි. තොටෙ දී ජලයට කරන පූජාව තොටමේ පූජාවයි.
ලක්හිමි නැසු තරහළු කළ වාද යෙ
නෙත් මකවා පඩිපුර ගිනිලූ තෙදි
සිත් පහදවා තපසට වැඩි අනුහසි
සත් පත්තිනි දෙවි තොටඹෙට වරන් දෙ

මිල්ල කැපීම
කැලේ ගොසින් අමු මිල්ල කපන් නේ
කැලේ වටට උඩු වියන් බඳින් නේ
රැලේ පුළුන් ලෙස දුම විහිදෙන් නේ
මැලේ ගසන්නයි දොවොල් යකුන් නේ
බොහෝ අවස්ථාවලදී මඩුවක් ඉදි කරන්නේ දෙවොලක් ආශි‍්‍රතවය. එහෙයින් මිල්ල ගසක් ඒ අසල නොතිබුනහොත් මිල්ල ගසක් සොයා දුර යාමට සිදුවන හෙයින් කලින් මිල්ල ගසක් කපා ගෙනවුත් දෙවොල අසල සිටුවා කහ දියර ඉස ගොක් රැුහැන් ඇද ශුද්ධ පවිත‍්‍රකොට තබති. කවි කියමින් බෙර වයමින් කුඩා පෙරහරකින් ගොස් කහ දියර ඉස භූමිය
ශුද්ධ ස්ථානයක් බවට පත්කර මැල කපයි. කැපූ මිල්ල ගස පසුදා ගිනි පෑගීම සඳහා පෙරහරින් ගෙනවුත් මඩුවේ ඉදිරිපස මහල් දෙවියන් පුද ලබන මල්පැල පිටුපස සිටුවා ඇති රුක් අත්තන ගසේ තැන්පත් කරයි.

හළං දෝවනය
අලුතෙන් ළිඳක් කපා උඩුවියන් පාවඩ ඇතිව එතනට පේලියෙන් ගොස් අලුතෙන් පැන් කලයක් පෙරා මඩුවට වඩමවාගෙනවුත් දේවාභරණ සෝදයි. එම හළං සේදූ ජලය ආතුර පිරිසට පානය කිරීමට හා මුහුණ අත් පා දෝවනය කිරීමට දීමෙන් සියළු රෝග උවදුරු නැතිවී ශක්තියක් ලැබෙන බව විශ්වාසයයි.

බිසෝකප සිටුවීම
කප යනු කණුව යන අර්ථය දෙයි. දෙවොල් මඩු හා ගම්මඩුවලදී පත්තිනි දේවියට බිසෝ යනුවෙන් ආමන්ත‍්‍රණය කරයි එහෙයින් පත්තිනි දේවිය වෙනුවෙන් සිටවූ කණුව බිසෝකප විය හැකි යැයි සිංහල විශ්ව කෝෂය දක්වයි. කප යනු කැප කිරීම යනුවෙන් ද අරුත් ගැන්වෙයි. ඉතා කොටට කැපූ බිසෝකප පත්තිනි තොරණ ආසන්නයේ සිටුවයි.
මෙසේ බිම මැන ගෙන
දෙපසේ ඇදුරු සිට ගෙන
ඉසේ දොස් හරිමින
බිසෝ කප් සිටුවන්න බිම මැන

කුරුම්බර හත්කට්ටුවට, මහසොහොන් යකුට
හා තුන් සමයමෙහි යකුට පිදේනි දීම
පෙරයම, මැදියම හා අලුයම යන තුන ්යාමයට කුරුම්බරයින්ට පිදේනි පුදයි. පිදේනි මුට්ටිය කැපකර කවි ගායනා කර මඩුවේ වහලයේ කෙළවර් හතරේ හෝ කත්තිරික්කවල තබයි.
එරන් ඔංචිල්ලා දෙවියෝ මවා පෙර
රුවන් ගමනකින් දෙවියෝ වැඩම කර
මෙවන් කරුණු දැකලා සිටියේ අසුර
වරෙන් මෙපුද ගන්නට ගිනි කුරුම්බර
යකුන්ට පිදේනි දීම
ආතුර හිසේ පිදේනි මුට්ටිය තබා මහසොහොන් යක්ෂයා ඇතුළු සමාගමේ යකුන්ට කවි කියා ආරාධනා කර මඩුවෙන් පිට යකුන් සඳහා වූ තට්ටුවලටත් දහ අට රියන් උස කුරාලයට ගොස් මහසොහොන් යකාටත් පුද කැප කරයි.
පාට සුදුයි සිය ගත අමු සොහොනට දිලෙයි ඊට නා
කැඩපත සේ මුහු ණා
මිනිය අතකිනි මල් උර නා
බීත වෙලා වර ඒ මහ සොහො නා
සතර වරම් දෙවියන්ගෙ බල යෙන
කකුසඳ කෝණාගම මුනි බල යෙන
රට වට පායන ඉර හඳ බල යෙන
හැන්දෑ සමයම කළ ලෙඩ හරි මින
විට විට මුනි, දහම්, සඟ රුවන සහිත දරා
තුටුකර මෙයින් කිහි රැුළි පුල්වන් පව රා
අට විසියක් සෙනඟ පත්තිනි අතින් වරා
හැට හතරක් සමයන් යකුනි බැස වරා
ඉස වට සැඩපළු දරණ වෙලා ගති
ඇතෙකු කටින් අල්ලාගෙන ලේ බොති
අතකට රන්කුඹු සෙල්ල දරා ගති
මහ සොහොනා සමයමට බලා එති

සඟල පේ කිරීම
දෙවොල් මඩුවේ ඉතිහාසය ගැබ් වූ කවි ගයා සඟල වඩා ආතුරයන්ට සුදු රෙද්දකින් සෙත් පතයි
දිනුඳු කුල අග පත්
දිණා ආසිරි විකු මත්
කාවේරි පුර මහ ත්
සේරමානන් නිරිඳු වැජ බෙත්
නොමනා වන ලෙඩ ත්
එරජ සිරසෙහි හට ගත්
පතිනි දෙවි අඟ පත්
පෙනී සිහිනෙන් කිවුය මෙපුවත්
දිලෙන මිණි බර නේ
සැදී සුරඟුන් ගුව නේ
කෑ මුකය නොදැ නේ
කිමෙක මහ රජ වෙහෙස විඳි නේ
පත්තිනි දෙවි තෙදින්
හලෝ පිරිපත නොලසින්
කෙළි පුද දෙන ලෙසින්
කියා නිරිඳුට ගියා අහසින්
සිව් පහළොස් රියන්
මඩුවක් තනා සුපසන්
සොළසක් යක් දෙසුන්
පේව එසඳෙහි මනා සුපසන්
සඟල ගෙන සුරතට
දුම්මල රැගෙන වමතට
භූමි දෙවි තුති කොට
ගන්න පාවා සඟල අඳිනට

සඟලේ විස්තර
සතර දෙකක් එක් අඟලක් සරභ ගනු
සරස වසා සිටිනා දස රුවට ගනු
සතර එක් අඟුල් බෝපත් තබා ගනු
හිමි සැට දාඟුලයි බෝපත් ලකුණු ගනු
පසඟුල් දිග කනඟුල් අඹ පුළුල කලා
තොසව රැුළි ලමින් අඳවන්ට දෙව්
නිසල පුබුදු පියුමකි සුවඳින් ලක ලා
මෙලෙසට කටිය වට තබමින් රැළි ලාලා
මෙසේ ලකුණු දැන සත් විදිය විසිතුරු
විසේ සවන් ගුරු ඇදුරන් තෙපුල් ගරු
තොසේ දෙවිඳු වැද නමකර පා තඹුරු
මෙසේ අඟුරු දුම්මල ලා වඩ මිතුරු
අසූ දහස් නරු තබමින් අඳින සළු
විසු තෙතිස් කෝටිය දෙවියන් නිය ළු
අසූ සාර ඉඩහල් උවිඳු සුළකු ළු
ඇසූ පටන් ආවඩමින් මෙකප මුළු

පේ බත කැම
පේ බත යනු ඇදුරන් වෙනුවෙන් සකස් කරන විශේෂ ආහාරයයි. කොට්ටෝරුවා විසින් වෙනම මඩුවක නැවුම් හැළි වලංවල නොඉඳුල්ව මෙම ආහාරය පිසියි. මේ සඳහා කිලිකුණුවලින් තොරව පෙරාගත් වතුරත් එළවලූත් භාවිතා කරයි. මෙම ආහාරය ඇදුරන් විසින් ආහාරයට ගැනීම පේ බත කෑම නම් වෙයි.

වාහල් නැටුම
දැඩිමුන්ඩ, වාහල බණ්ඩාර හෙවත් දේවතා බණ්ඩාර දෙවියන් වෙනුවෙන් වාහල නැටුම පුදයි. දුම්මල කීරි ගසමින් යක්ෂයන් පලවා හරියි. දෑස් වැසෙන සේ උල් හිස් වැසුමකින්ද පළු දෙකකින් යුත් අත්දිග වර්ණ සැට්ටයකින්ද ඉන හැඩය හා බඳ පටිය පලදියි. පුටුවක වාඩි කරවන නැට්ටුවාගේ යටිපතුල් දුම්මල කබලකින් රත්කර දුම් මුහුණට ලංකර හොදහැටි උරාගනී. අනතුරුව මුගුර, අගරු කබල පොල්මල කහ දියර කොතලය පන්දම් ආදී පූජාභාණ්ඩ ගෙන වාහල යහනෙහි සිට මල්යහන් වෙතට අවධානය යොමුකරමින් එක්තරා රටාවකට නටයි. අවසානයේ දුම්මල කීරි ගසමින් යකුන් පලවා හරියි. බොහෝ විට පැය දෙකක් තුනක් පමණ ප‍්‍රලයවී නටයි. නැටුම අවසානයේ කහදියර ඉසීමෙන් පසු යථා තත්වයට පත්වෙයි.

අඹ විදමන
දකුණු ඉන්දියාවේ පඪිරජුගේ අඹ උයනෙහි හටගත් අරුම පුදුම අඹයක් බිද හෙලීම හුවා දක්වමින් නාට්‍යමය ස්වරූපයෙන් අඹ විදමන දක්වයි. ශකයා මහල්ලෙකුගේ වේශයෙන් පැමිණෙන ආකාරය දැක්වෙයි. බෙරකරුවන් සහ මහල්ලා අතර දෙපැත්ත කැපෙන වචනවලින් මෙන්ම අසභ්‍ය වචනවලින්ද රසවත් සංවාදයක් ඇතිවෙයි. මහල්ලාගේ ස්තී‘ ලෝලත්වයත් කාමුකත්වයත් ගැවියාගේ මනසට කා වැද්දීම තුළින් ප‘ජනනය ආදී මනුෂ්‍ය කාර්යයන් පිළිබද උනන්දුවක් මෙන්ම දැනීමක් ලබාදෙනවා ඇත.
නම්න් පසිඳු දඹදිව තුල පඬි රට රජ කළ නිරඳුට
යොදුන් ගණන් අඹ උයන් විය එහි මැද සෑදුන යසට
ඇසින් බලා බැරි නිමවන රන්කඳවෙයි ගහේ පාට
ගොසින් පතිනි එ අඹ ගසේ අඹයක පිළිසිද මොනවට
අරි න සැරෙන් පොලූ ගල්කැට වෙඩි සැර ආමුන පෙරලා
කරන සටන් බැරිව සෙනග සිට ආයුධ අත හැරලා
විදින වෙහෙස දැක දිවසින් සක් රජ කරුණා කරලා
රැගෙන දුන්න සහ ඔලගුව මහළු වෙසක් ගෙන දරලා
පුරුක් නවය සන්දිනිසා දුන්න අදියි වර වරක් විදල ඊය නවන්ට
මෙසේ කව් නිරිදුට උඩ බලන්ට
කලක් පවතිනා අණසක ගුවනේ කැරකී තිබෙන්ට
උලක් ඇන්න සේ අඹ කිිරි වැටුණේ පඩි නෙත මැකෙන්ට

රාම මැරිල්ල / මරා ඉපැද්දුම
රාමාගේ බිරිද මිය ගිය පසු අවමගුලට රෙදි මිලදී ගැනීමට හෙට්ටියකු සොයා බලවත් පරිශ‍්‍රමයකින් පසු හමුවූ හෙට්ටියාගෙන් බලවත් කඩෙත්තු කිරීමෙන් අනතුරුව රෙදි මිලදී ගනී. රාතී‍්‍රනිදාගෙන පසුදා ඇහැරෙන හෙට්ටියාට දක්නට ලැබෙන්නේ රෙදි සොරාගෙන ඇති බවයි. වහා රාම සැක කරන හෙට්ටියා රාමාට තලා පෙලා මරා දමයි. එහෙත් රාමාට නැවත පන දීමට සිදුවන හෙට්ටියාට පත්තිනි දේවිය උදවු කරති. නැටුම්, ගැයුම්, වැයුම් වලින් සමන්විතව මෙම රංගනය ඉදිරිපත් කරයි. වර්තමානයේ ගව්මඩු තුළ රාම මැරිල්ල / මරා ඉපැද්්දුම ඉදිරිපත් කිරීම දුර්ලභය.

දෙවොල් නැටීම
මෙහිදී දෙවොල් දෙවියන් ලක්දිවට ගොඩ බැසිම රග දැක්වෙයි. සිද්ද දෙවොල් දෙවියෝ, දෙවොල් දෙවි හත්කට්ටුව, රටවන්දෙවි වේරගොඩදෙවි දෙවොල් බණ්ඩාර, වාහල් හාමුදුරුවො, වාහල දෙවොල්, මලල දෙවොල්්, දෙවෙල්, සීනිගම දෙවි ආදී වශයෙන් දෙවොල් දෙවියන් උදෙසා භාවිතා කරයි.
ඉන්දියාවේ කර්නාටක ප‍්‍රදේශයේ නීලමාලි නැමැති නෞකාපතියෙකු වූ දෙවොල් දෙවියො මුහුදේ යාත‍්‍රා කරමින් සිටියදි කුනාටුවකට හසුව ලක්දිවට ගොඩබසින්නට උත්සහ කළහ. එවිට පත්තිනි දෙවියෝ ගිනිජල් හතක් මවා දෙවොල් දෙවියන් වැළැක්වීමට උත්සාහ කළද රෝගපීඩා නැති කරීමේ වරය අඩ සිනිගමදී ගොඩබැසීමට ඉඩදුන් බවත් සඳහන්ය. දෙවොල් නැටීමේදී දෙවොල් උපත, ලක්දිවට ගොඩ බැසීම කවිි කියා රග දක්වයි. දෙවොල් පද හතකි. දෙවොල් දෙවිලක්දිවටගොඩ බැස්සේ තවත් පිරිවර හත් කට්ටුවක් සමගිනි.
ඉරුදින ඉරුරැස් සාමි උපන්නේ
සඳුදින සඳ රැස් සාමි උපන්නේ
කුජ දින තෙදරැස් සාමි උපන්නේ
බුද දින බුදු රැස් සාමි උපන්නේ
ගුරු දින ගිනි රැස්සාම් උපන්නේ
කිවි දින ඒ මහ සාමි උපන්නේ
කුඩා සාමි සඳු දිනේ උපන්නේ
සත් දෙන කුමරුන් මෙසේ උපන්නේ
මෙකප පළමුව පහළ අපෙ මුනි රැකි දහම් සිල් ලොව් තුරා
එකළ දඹදිව කුමරුන් සත් දෙන විය සිටු පිළිසිද වරා
පිනට තම සිත නැමි මුනිදුට දෙමින් කටිනය එම වරා
පතා දෙව් වෙමි සිතා කටිනය දෙවොල් දෙවි පුදකළ වරා
දෙවොල් දෙවියන් යාපා පටුන, ලණුමෝදර, රීරිගල, ගිංතොට, බෙල්ලන් මොදර, සෙල්ලන්¥ව ගෝණගමුව, හම්බන්තොට, පානදුර ආදී ස්ථානයන්ට ගොඩ බැසීමට තැත් කළත් මුරකා්වලූන් අවසර නොදිම නිසා සීනිගමට ගොඩබැස ඇත.

දෙවොල් භාගෙ කවි
සත් පත්තිනි දෙවි වන්තී
රන් රිදියෙන් ගෙන යදිතී
සත් පත්තිනි වරම් දෙති
යැදපු දෙවෙල් අදින් නැතී
ඉගුරු මිරිස් අබ සමගින
ලූනුද පස් කුලූ බඩු ගෙන
පස්ලෝ කටු ගෙන සමගින
යැදපු දෙවොල් දොස මෙසියන
අද ගොලූ බිහිරන් අරවා
ජඩ පෙළ කැසි මුසු අරවා
සැමදෙවි ආතුර ගලවා
සෙත් සිරි දි ආවඩවා
ආයුත් වඩාලා
කොතලෙන් පැන් වඩාලා
කළසෙත් මුදලා
මෙකළ කාරිය ආවඩාලා
අදිති පිළි සැට්ටත් සොද තොප්පිද
ගනිති අතට සිරියල් හා මුගුරුද
බලති යකුන් දුටු තැන බැට දෙති තද
තෙදැති දෙවොල් දෙවි සෙතදෙන් ලැබ පුද
කපුරු කස්තුරි සදුන් උරලෑ මුවද පිනිදිය කුප්පි පුරවා
අකුරු ලිත්කවි සින්දු වණ පොත් නිමිති වෙද පොත්ද ලියවා
මතුරු මනිත‍්‍රාද දැප කර නැකත් ගිනි චක‍්‍රමය කරවා
යතුරු පන්හිත් මූනද දැල් කටු ලියන පොත් පෙට්ටි පුරවා
නොයෙක් රත්නිල් පබලූ මනරන් මුතු මැනික් වයිරෝඩි ගත්
රිදී ද රත‍්‍රන් සලූද ඊසල් වරාගන් තඹ කාඩි පෙට්ටිත්
තඹත් ලෝකඩ දේද පිත්තල යකඩ වානේ ලොහො කඩාගත්
ගෙනත් නැව් ගෝරමුත් ඊයම් තට්ටු ඇද නැව් හතේ පුරවන්
තොප්පිකර උරබාහු කාගුල් ඔටුනු දුන හැද දෙවර බන්දිද
නෙත්ති රත‍්‍රන් මාලපටියද දවුල්ගස් කරමාල පටියද
සැට්ට කම්බිලි සහ මුරි වන්නද සේල බුබුලූ පටියද
ගත්තු පා මුදු වළලූ රසුනඳ ගිගිර සිව්සැට බරණ සමගද
උඩැක්කිත් බෙර රබන් මද්දිලි දවුල් තම්මැට්ටමද වීනා
හඬත් නද තම්බෝරු සක්ගෙඩි පුරන් පේත්තුද කොම්බු හොරණෑ
කුඩත් කොඩි කුඹ දෝලි කූනන් චාමරද සේසත්ද රැගෙනා
කොඩිත් රෙදි නැව් හතට වෙන්කර පංචතූරිය නාද දෙමිනා
කරක්කච්චිද සේල කම්බිලියෙන් තුන් විල්ලෝඩි ගනිමින්
කුලච්චිත් සොද කසා කච්චිද කාල්ලන් පට සේල හරියන්
තඩුප්පුත් සොඳ සීන් කම්බිලි රත්නවල්ලිද කොකිල පට්ටන්
ඉරට්ටුත් පොත් හරිද අබරණ වල්ලිද මුතු දැඩි රැළිද තොක්කන්
රත්න කම්බිලි සේල ඔලියල් පාරු සේලද කිවිසි විලඹුන්
මුත්තු වරියං සේල ගුජ්ජරියනුත් රතු සේරාඩි කලඹුන්
පච්ච වඩමත් කුලූද නිල්වන් සුදු කවද නිල් පිලීලෙන් යුත්
කච්චි මුරිවත් කඳන් කම්බා ඉද්දමල් මුතු වඩිග කායත්
පට්ට පට්මල් තොප්පි උඩ උරමාල සහ පරමදා සැට්ටද
කට්ටු සුරුට්ටුද අමු වඩිගද සැට්ට රතු පගලත්තු තොප්පිද
සැට්ට සන්තන් ඔවක් පටිසත නාගපසලන සම් සෙරෙප්පුද
කට්ටු බැද නැව් පොට්ටි පුරවා ලක්ෂ ගණනක් පැටෙව් නිවරද
දෙවොල් දෙවි ලංකාවට ගොඩ බැසිමෙදි බාධාකළ දෙවිවරු ගැනද කවි ගී ගයයි
සමන්ත කූට පර්වතයක සාසන බාරව සිටිනෙක
සවන් පුරා අසන බණත රකින සීලෙ සිල් මහිමෙක
අතින් දරණ පත් කඩයක නා ගණවැල නිතර අතක
සමන් දෙවිදු යන උතුමෙක දෙවොල් යකුට බලපෑවෙක
ජලෙන් උපන් ජල කුමරක නාථ දෙවියො යන සුරිඳෙක
ඈත සිටන් එනවා දැක දෙවොල් කුමරු ඒ ගල් නැවක
බිත තොටින් ආ උන්දැක යාපා පටුනේ තොට රැක
නාථ දෙවියො යන උතුමෙක දෙවොල් යකුට බලපෑවෙක
අයිල දෙකේ ආ මුණ රැක නැවතුනු හිමි අයියනායක
වෛර බදින හිත තදයක දහිරිය ගැන නොමැති සෝක
ලෙයිද ඇගේ මල් වැල් දැක උනුව ගියේ ඇටගත නෙක
අයියනායක දෙවි උතුමෙක දෙවොල් යකුට බලපෑවෙක
ඇද්ද මෙහෙම බල මහ්ිමෙක ගොසින් ඉපිද අඹ සුද්ද ඇතිව උයනක
පඬිරජු දැක එරන් අඹය විදපු හනික
විද්ද සැනින නැටි කැපුනෙක කිරිවැටිලා නෙත මැකුනෙක
සිද්ද පතිනි තෙද උත-මෙක දෙවොල් යකුට බලපෑවෙක
දෙවොල් නැටීමෙදී දෙවොල් දෙවියන්ට ලක්දිවට එන්නට සිදවූ කරුණුත් සිදුවූ බාධාත් දක්වනලද ප‍්‍රාතිහාර්යයන් පිළිබදවත් දෙවොල් කවිවලින් ගයවින් කටයි.
දෙවි සත් දෙනගේ--
උපතක් කියමි ලාගෙ
දුක් නිවන යාගේ
කියමි මේ කවි දෙවොල් බාගේ
මුහුදු මනි මේකලා
දෙවි වූ දිවැස් දැකලා
ගල් පහුර මවලා
දුන්නු මෙරට එන්න නොබලා
තෙද දෙවොල් යක්කූ
බහිරව පිල්ලි යක්කූ
ගිනි මදන යක්කූ
එන්න මෙකරට දෙවොල් යක්කූ
ඈත සිටන් ගොඩබැස එන්ඩ සපිරියේ
වැදී කුමක සේ එනවාට අපිරියේ
නොදැන එන්ඩ ඇරියොත් වැරදි කාරියේ
එදැක සමන් දෙවි ගොඩ එන්ඩ හැරියේ
කොතෙක් මෙතර දිය වටකර වළල්ලේ
දෙකක් පසුව ගිය තොටමුණ ඇසිල්ලේ
තොටක් තවත් දුටුවොත් සිත ලවුල්ලේ
තොටක් දැකපු ගොස් දෙවිනුවර වැල්ලේ
එතෙර සිට ඇවිත් උන් කරපු කාරියේ
මෙතෙර ගොඩ එන්ඩ උන් කරන වීරියේ
නොතිර නම් කළායින් වැරැදි කාරියේ
කතරගම දෙවිදු ගොඩ එන්ඩ නෑරියේ
නොදැක කෙලින ගග දියමෙන් සිසිල් උදාරයෙන් පැන ගිනි වී
මැදට සැක නො වී
අදහ සිතින් ලත් අණසකය බොහෝ වී
එදා පතිනි නම තැබුවට දෙවොල් දෙ වී

දෙවොල් කඩවත ඇල්ලීම
දෙවොල් නැටුමේදී දෙවොල් දෙවියන්ට ඒමට බාධාවන ලෙස සුදු රෙද්දක් කඹයක් සේ අඹරවා අල්ලයි. නැයටුම් ශිල්පීන් දෙමළෙන් සහ දෙමළ අයෙක් වෑයමෙන් සිංහල කතා කරන්නා සේ ගුරුන් සමග සංවාදයේ යෙදේ. විහිළු තහලු පද වරද්දා කීම ආදියෙන් පේ‍්‍රක්ෂකයා ආශ්වාදයට පත්වෙයි.
දොළසක් දෙවි ගොඩ බැස මෙලකට පිරිවර සමග එදා
බලයක් පෑ තතිනි දෙවිදුගෙන් වරමුත් ලැබ එමදා
කෙළියක් ගිනි කෙලිනා ලෙස ගිනිමැලයේ දුවති එදා
හිලියක් වුණි මෙමුළු ලකට දෙවොල් සුරිදු වැඩිය එදා
තෙද වර පාමින් වර ලැබ පතිනි දෙවිදුගෙන් ලක සොද ලෙස වට
කෙළි පුද ලබවින් වැජඹෙන තම යස පලකොට
අද වැඩියොත් දෙවොල බාගයේ බණ්ඩර දෙවි පේනට
සිද බිද වෙයි සෑම සතගෙ උවදුරු දොස් මුලූ පූට
ලිහිල් නොකර මිනි අබරණ පැළද සුවද සමගින්නේ
විදුලි කළඹ මෙන් දිලිසෙන රන් ආවුද ගෙනතින්නේ
දෙවොල් බාගයේ බණ්ඩර දෙවි පේනට වඩිමින්නේ
සියල් සතගෙ උවදුරු ගිය රිවි දුටු පිනි බිඳු වැන්නේ
සිනිගම දැකලා
ගමරට මැදට වැඩලා
තෙද බලය, පාලා
දෙන්ඩ කෝවිල කර වදාලා
සීනිගම මැතිදුට
දමා ගිනි ජල් ලෙඩ කොට
කර කෝවිලක් වට
දුනොත් ලෙඩ හොඳ කරමි හනිකට
තේජස් වදාලේ
තුන්තානි ගෙන දෙවෙලේ
සුප් කප් දැලේ
කරපු දෙවිදුට ඒ දේවාලේ
කරපු දේවාලෙට
වැඩලා දෙවිඳු එතනට
ලොව හැම දනන්හට
දමා ගිතන් ගති තදකොට
තෙද බලය පෑවේ
අණසක දිව්වේ වූවේ
හැම දොස් මිදුවේ
බලය පෑ දෙවි කෙහෙල් ගමුවේ
සෙනගක් සමෝගේ
කියන ගින්දර රාගේ
එන නැව මේ කාගේ
කියන් එන නැව දෙවොල් බාගේ
ඉස මුව සෝදමින්
පිරිසුදු වතක් අදිමින්
ගසා දුම්මල සුවදින්
ගොසින් විල ළග ගසක් සොයමින්
මිල්ලයක් දැකලා
ගස පිස දමලා
අගුරු දුම්මල දීලා
එත්ලූ මිල්ලය සොයාලා
භගිනි කියන දෙමළ භාෂාවට
දෙගිනි සාව ඇවිලෙති ගිනි මැලයට
මෙගිනි පාගමින් මැල් නටන්නට
එගිනි කුරුම්බර වඩිනේ පේනට
සිද්ද පත්තිනි දෙවි වරම් දෙන්නේ
ලද්ද වරම් තුන් ලොව විහිදෙන්නේ
සුද්ද වංස ඇති දෙවොල් යකුන්නේ
සද්දවසක් ඇදුරා පේ වෙන්නේ
දහ අට බාසයයි කියති මෙසේයා
ලූහු බැද ගිනි පිට නටති මෙසේයා
ලූහුබැද යක් සෙන් දුවපු මෙසේයා
බිය වැද යක් සෙන් දුවපු රැසේයා
තිර හතරක් බිදිමින් නොලසේයා
සරසා වටතිර බදිති මෙසේයා
බිමට එපියවිලි එලූ පියසේයා
ගොසින් එගිනි කඳ සුන් කරනේයා
පිස්ලි වෙලා පනිමින් ගිනි මැලයට
දස්ස වෙලා වඩිනේ අද පේනට
මෙගිනි පාගවින් මැලේ නටන්නට
විස්තර පේනක් කියන්න හනිකට
හත් දවසක් ආයුද ගෙන සුරතට
එක් දවසක පිරිවර ගනනින් වට
දස දහනක් ගිනි රැස් විහිදෙන්නට
සත් දවසක් යැද තිබුනොත් දෙවිඳුට
දහස් ගණන් ගිනි පුපුරු මෙසේයා
දහස කෙළින තරු රැස් ලෙසිනේයා
රෝස් වෙලා යැද තිබුනු දොසේයා
දෝස මුදන්නට නටති මැලේයා
සත් පත්තිනි මැඩම වන්නට
සළඹ හතක් අතට ගන්ඩ
හැදපු දෙවොල් සන්හිඳෙන්ට
දිව සළුවෙන් ආවඩන්ඩ
ගිනි පෑගීම
සිද්ද පතිනි දෙවි නෙතට පෙනෙන්නේ
සැදි සීනිගම තොට දැක එන්නේ
සිද්ද පතිනි ගිනි වැටක් මවන්නේ
වැද්ද නොදී ගිනිකඳු පාගන්නේ
රුසිරු නවදෙන විමන වඩිනවා
හතර ටෙට් දෙවි දිවැස් බලනවා
ගිගිරි සළඹ දෙවොල් දෙවිඳු දරනවා
දෙවොල් දෙවඳු ගිනි කෙළියට එනවා
අග්නි දිගට වැදලා රඹ තොරණයි
රතුපිට පිළියෙන් බැදි උඩු වියනයි
රිදියෙන් රත්තරනෙන් රඹ තොරණයි
දෙවොල් දෙවිදු ගිනි කෙළියට වැඩියයි
දොළහ පෙලපාලිය
පසුදා උදේ දෙවොල් නැටීමෙන් අනතුරුව දොළහ පෙනපාලිය නටයි.
දොළහ දෙවියන්ගේ සිත් සතුටුකර ඔවුන්ගේ ආශිර්වාද ලබා ආතුර පිරිසට සෙත් කිරිම දොළහ පෙළපාලියේදී සිදුකෙරෙයි.
දුම්මල, කහදියර කොතලය, මොට්ටැක්පිලිය, කුඩය, කොඩිය, සේසත, ඇතා, දවුල, තම්මැට්ටම , කොම්බුව, නලාව, යන භාණ්ඩ දොළහ පෙළපාලියේදී භාවිතා කරයි,

ඇත්බන්ධනය
මෙහිදී ඇතේක ීමීමෙක් ආදී සතුන් අල්වා දෙවියන්ට පූජා කිර්ම නාත්‍යානුසාරයෙන් රග දක්වයි.
නැතත් බලැති දොළසත් දෙවියන් නමට
කොතේක් පාලි කෙරුවත් නැත සිත සතුට
මෙතෙක් කර දොළස ආතුර රැකීමට
ඇතෙක් සොයා බැදලා දෙමි පඬුරකට
බලා පුත්තලම් මඩකලපව හිමයේ
බලා ඇවිද වැදි හත්කට්ව හිමයේ
මුලා නොවී තුන් සිටිනාකල හිමයේ
එදා බැඳ දුන්න දෙවිහට ඇතායේ
වදුරා
නැතත් හිම වතේ අතු අග දළු කන්නා
පුතේක් බඩ යටින් එල්ලා ගෙන එන්නා
මදක් රැවුල ඔරවා බිරු සන් දුන්නා
ඇතෙක් දුටිමි ගහනින් ගහකට පැන්නා
මුවා
අං දෙක බරු ලෙසට පිට දඅග විහිදෙච්චී
කං දෙක බට දළුව විලසට බේරිච්චී
තැන් තැන්වල හමේ සුදු ලප ඉහිරෙච්චී
ගම්බිර හොද ඇතේක් අද මට හමුවෙච්චී
ඉබ්බා
තැනත් හිම වතේ තැන් තැන්වල හිටියා
එතෙක් කර කියමි දුටුවේ නැති සැටියා
කොතෙක් වත් මහත නැත ලා සක් කැටියා
ඇතෙක් දුටුමි ඒ දණ්ඩක් උඩ සිටියා
ලේනා
ටිං ටිං ගගා කිතරම රැුව් දී සිටියා
රන්වන් ඉරි තුනක් පිට දිග ඇති සැටියා
යම් තම් හඬක් නැගුනොත් ගහ උඩ සිටියා
මන් අද ඇතෙක් දුටුවා වැට ළග සිටියා
ඇතා
කෙසෙල් කඳන් සේමයි දළ ඇතාගේ
වට්ටි කුළු වගොයි කන්දෙක ඇතාගේ
බැවිල මල් වගෙයි ගෝමර ඇතාගේ
බඳන්න බැරි කිම සාමිනි ඇතාගේ
ගරා වෙස් පෑම
ඇස්වහ, කටවහ, හෝවහ ආදී කසල දොස් දුරු කිරිම ගරාවෙස් පෑමෙන් අපේක්ෂා කෙරේ. වචන මාරුකර කිවිම දෙපිට නැපෙන වචන මෙන්ම අසභ්‍ය වචනද කරා යකා සහ ගුරුන් අතර හුවමාරු කරගනී.
විලක්කු සිටුවීම
ගරා වෙස් පෑමෙන් අනතුරුව විලක්කු දල්වා ආතුරයින්ට සෙත් පතා වස් දොස්පහ කරයි.(හීන් පන්දම් විශේෂය විලක්කු නම් වෙයි)
අවුලා විලක්කු
වැන්දෝ දනෝ එක්කූ
දෙව් දොළහ එක්කූ
මෙයින් ගන්නේ ඒ විලක්ක
පැලේ උඩට ගොස් උරගුන් වැටුනද
රැලේ වෙලා කිකිළිය හැඩලූවද
කුලේ වැදූ ඇතු සැවොම මැරෙව් කවුද
බලේ ඇතිව ඉන්දොස යයි මුල් සිද
මූදු රෙළ බෝ පඩිගේ වැසුවා
ගම් බම් වාදය වී දිවිරුවා
දොළහ දෙවිදු හට දොස්කර වූවා
ඉන් ආ වස් දොස් අද දුරු වූවා
ඇල්ලේ මාවත බිම ඉරි ඇන්දා
මලලේ ලා උරගුන් බැන්දා
තෙල්මේ මිහිකත අනුහසයෙන්දා
ඇල්මේ ජලමෙන් දොස ගියේ බින්දා
පානේ රැල් ගඩපිඹලා නිව්වා
යානේ පැදුරට නොකියා ආවා
මානේපොළටය දොස්කර කීවා
මෙතැනේ උවදුරු අද දුරු වේවා
මේ ආදී වශයෙන් සෙත් ශාන්තතිකර දලුමුර(බුලත්) පූජාකර දේව දානය දී දෙවොල් මඩුවේ කටයුතු නිමාවේ


අංගං හරඹ

 

අංගම්පොර සටන් කලාව
විවිධ වූ සටන් කලාවන් අපි වර්තමානයේදී දකින්නෙමු. නමුත් මෙකී සටන් කලා තුළ ලංකාවට ආවේණික වූ සටන් කලාවක් අපට දැකගත නොහැක. එහෙත් අපගේ ඉතිහාසය පිරික්සීමේදී ලෝකයට අභියෝගයක් වූ සටන් කලාවක් මෙරට තුළ පැවති බව පෙනී යයි. ඒ අංගංපොර සටන් කලාවයි. අතීතයේදී සශ්‍රීකව පැවති මේ සටන් කලාව විදෙස් ආක්‍රමික බලපෑම් නිසා අද වන විට පවුල් කිහිපයකට පමණක් සීමා වී තිබෙන බවක් දක්නට ලැබේ. කෙසේ වෙතත් අදටද මේ සටන් කලාව රැකගෙන පවත්වාගෙන යනු ලබන සීතාවක කොරතොට ආරච්චි පරම්පරාවේ අජන්ත මහතිල ආරච්චිගෙන් අපි මේ සටන් කලාවේ ඉතිහාසය, වර්ධනය හා වර්තමානය ගැන විමසීමක් කළෙමු.  

ඉතිහාසය

ලෝකයේ දීර්ඝතම ලිඛිත ඉතිහාසයක් සහිත සටන් ශාස්ත්‍රය ලෙස අංගං ශාස්ත්‍රය හැඳින්විය හැකියි. අංගං ශාස්තය පිළිබඳව ලිථිත ඉතිහාසය දේශීය ග්‍රන්ථවලට අනුව අවුරුදු 33000 ක පමණ වනු ලබයි. මේ සම්බන්ධව ලියැවුණු ග්‍රන්ථයක් වන ‘වර්ග පුර්ණිකා‘ නම් ගෝස්තර පොතෙහි අංගං ශාස්ත්‍රය පිළිබඳ ඉතිහාසය අවුරුදු 33000කට එපිටක සිද වූ බව සඳහන් කොට තිබේ. 
මේ කෘතියට අනුව අංගං ශාස්ත්‍රය නිර්මාණය කිරීමේ ගරුත්වය හිමිවනු ලබන්නේ අතීතයේ මෙරට විසූ යක්ෂ හෙවත් යක්ක ගෝත්‍රය හටය. යක්ෂ ගෝත්‍රය එකල මෙරට පාලන තන්ත්‍රය මෙහෙයවූ අතරම ආරක්ෂක සංවිධාන කාර්යයද සිදු කර ඇත. මේ අනුව යක්ෂ ගෝත්‍රික ඍෂිවරුන්ගේ දැනුම් සංගලනයන් ලෙස අංගං ශාස්ත්‍රය මේ හෙලයේ බිහිව තිබෙන බව පැවසේ. 

‘අංගංපොර‘ නම බිහිවීම
අතීතයේ මෙම සටන් ශාස්ත්‍රය හැඳින්වූයේ අංගංපොර නමින් නොවේ. මෙහිදී විවිධ යුග වලදී විවිධ නම් වලින් මෙහි සටන් ශාස්ත්‍රය හඳුන්වා තිබෙබ්. මෙකී නාමයන් වන්නේ ‘රක්ත පතිගාන හෙරල‘, ‘අංගාගත හෙරල‘ ආදියයි. අංගාගත හෙරල පසුකාලීනව අංගං පොර ලෙස ව්‍යවහාර කරන්නට කටයුතු කර තිබේ.
මෙලෙස ක්‍රමිකව ගලාගෙන ආ අංගංපොර සටන් ශාස්ත්‍රය මහා රාවන රජු යුගයේදී ඍෂිවරු නවදෙනෙකු විසින් තවදුරටත් දියුණු කොට තිබේ. මෙහිදී අංගංපොර සටන් ශාස්ත්‍රය සඳහා වෛද්‍ය දැනුම, මන්ත්‍ර ශාස්ත්‍ර දැනුම, කාල හෝරා දැනුම, සංගීතය වැනි අංශ ද අන්තර්ගත කොට රාවන රජුහට මෙම සටන් කලාව පිළිබඳව දැනුම ලබා දී තිබේ. මෙහිදී මෙකී සටන් ශාස්ත්‍රය, යක්ෂ හා රාක්ෂය ගෝත්‍ර අතර හුවමාරු වූ බව සඳහන් වේ.
රාවනා යුගය යනු මීට වසර 5000කට පෙර පැවති කාලවකවානුවක යැයි මේ වන විට පරීක්ෂණ වලින් පිළිගනු ලැබේ. මේ අනුව රාවනා රජු සමයෙන් පසුව සිටි රට පාලනය කරන හැම පාලකයෙකුම අංගංපොර උගත යුතුයි යනුවෙන් නියමයක් ඇතිකරගෙන තිබේ. මේ අනුව රටේ පාලකයා දක්ෂ සටන් ශිල්පියෙකු විය යුතුය යන තැන පිහිටා ඉහළ  කුලවතුන් හට මේ සටන් ශාස්ත්‍රය පුහුණු කළ යුතුය යන්න පාරම්පරිකව නියමයක් ඇති කර ගනු ලැබීය. රාවනගෙන් පසුව එන හැම රජ කෙනෙකුම සම්බන්ධව අංගංපොර සටන් ශාස්ත්‍රය භාවිත කළ බවට තොරතුරු පවති. උදාහරණයක් ලෙස දුටුගැමුණු රජු සමයේ සිටි දස මහා යෝධයන්ද අංගංපොර පිළිබඳව හසල දැනුමකින් යුක්තවූ බව පැවසෙයි. 

එසේම වලගම්බා රජු සිය සේනා සංවිධානයේදී අංගංපොර භාවිත කළ බවත්, මහා පරාක්‍රමබාහු සමයේදී අංගං සටන් මධ්‍යස්ථාන පවා පවත්වාගෙන ගිය බවත් සඳහන් වී තිබේ. 
මෙලෙස ගලාගෙන ආ අපගේ අංගංපොර සටන් ශාස්ත්‍රය වෙනස් මුහුණුවරක් ගත් යුගයක් ලෙස පෘතුගීසී ආක්‍රමණික සමය සඳහන් වේ. විශේෂයෙන් පෘතුගීසි තුවක්කු හා ඔවුන්ගේ සන්නාහ ඇඳුම් සමඟ මුහුණට මුහුණලා සටන් කරන්නට සිදු විය. එවකට සිටි දක්ෂතම අංගංපොර සටන් ශිල්පියා ලෙස හැඳින්වෙන්නේ ටිකිරි කුමාරයා හෙවත් සීතාවක රාජසිංහ රජු ය. මේ යුගයේදී අංගං සටන් ශාස්ත්‍රය ඒ පැවැති තත්ත්වයට මුහුණ දිය හැකි අයුරින් වෙනස් කරමින් දියුණු තාක්ෂණයක් එක්කරනු ලැබී ය. මෙහිදී පෘතුගීසි සන්නාහ ඇඳුම් කපාගෙන යන පරිදි පහරදීම, පෘතුගීසීන්ගේ දිගු කඩු සමඟ අප කෙටි කඩුවලින් සටන් කරන්නේ කෙසේද යන්න පිළිබඳව අලුත් සටන් ක්‍රම රැසක් මේ යුගයේදී අංගං සඳහා එක්වනු ලැබීය.
සීතාවක රාජසිංහ රජු මුල්ලේරියා සටන ජයගනු ලබන්නේ අංගං සටන් ශාස්ත්‍රය උපයෝගී කරගෙන ය. මුල්ලේරියා සටනින් පසු බොහෝ අංගං ශිල්පීන්ට පෘතුගීසීන් විසින් මරණය උරුම කර දෙනු ලැබීය. කෙසේ වෙතත් සීතාවක යුගයේදී පළිහක්කාර සටන් පරම්පරාව සහ කොරතොට ආරච්චි සටන් පරම්පරා නමින් පරම්පරා කාණ්ඩ දෙකක් පැවති බව රාජාවලියේ සඳහන් වේ.
සීතිවක යුගයේදී බිඳවැටෙන අංගං සටන් සමූහය යළිත් නුවර යුගය් දෙවන රාජසිංහ රජුගේ මූලිකත්වයෙන් හා විමලධර්මසූරිය රජුගේ මූලිකත්වයෙන් ජීවය ලබමින් ආරම්භ විය. මෙහිදී සුදාලිය හා මාරලිය යනුවෙන් ගම් දෙකක් ම ශිල්පීන් වෙනුවෙන් ලබාදී තිබෙන බව සඳහන් වේ. මෙලෙස ඇරඹි ගම් දෙකේ සටන් පරම්පරා සුදලිය හා මරුවල්ලිය නමින් හඳුන්වනු ලැබේ. 

1815 දී උඩරට ඇතිකරන ගිවිසුම සමඟ මෙරට පාලනය ඉංග්‍රීසීන් වෙත හුවමාරු විය. මෙහිදී ගිවිසුම් ප්‍රකාරව වැඩකටයුතු සිදු නොවන නිසා සහ බෞද්ධයින්ට සිදුවන කෙනෙහිලිකම් හා දළදා වහන්සේට නිසි පුදසත්කාර නොවීම තුළ අංගං ශිල්පීන් එකතු වී 1818දී කැරැල්ලක් ඇති කරනු ලැබීය. මෙය ඌව වෙල්ලස්ස කැරැල්ලයි. මේ කැරැල්ලට මූලිකත්වය ගත්තේ කැප්පෙටිපොල, බූටෑවේ රාළ, කිවෙුලේගෙදර මොහොට්ටාල ආදී එකල සිටි දක්ෂම අංගං ශිල්පීන් වේ. මේ කැරැල්ල සම්බන්ධව අධ්‍යනය කරන ඉංග්‍රීසීන් අංගං ශාස්ත්‍රය ඔවුන්ට සටන්කාමී බවක් ඇති කරන්නට හේතු වී තිබෙන නිසා 1818 දී අංගං මුහන්දිරම් තනතුරු සහ අංගං මඩු තහනම් කරනු ලැබීය. එසේම1929 දී අංගං ශාස්ත්‍රය හා අබිං ඖෂධය භාවිතය නිවේදනයක් මගින් තහනම් කරනු ලැබීය.
මෙම ගැසට් පතුයට අනුව යමෙකු අංගං ශාස්ත්‍රය හදාරයි නම් හෝ යමෙකුට උගන්වන්නේ නම් ඔහු සිරභාරයට ගත යුතු බවත්, යමෙකු අංගං ශාස්ත්‍රය දන්නේ නම් ඔහුගේ දණහිසෙන් පහළට වෙඩි තැබිය යුතු බවද සඳහන් වේ.

මෙකී ව්‍යසනකාරී තත්ත්වය සමඟ අංගං ශාස්ත්‍රය නර්තනයක් ලෙස පවත්වාගෙන යන්නට එකල සිටි අංගං ශිල්පීන් කටයුතු කොට තිබේ. අදටත් අප දකින වැදි නැටුම්, කාටි නැටුම්, දිවි නැටුම් වැනි නර්තනාංග වල පවතින්නේ අංගං සටන් ශාස්ත්‍රයේ සටන් ක්‍රමයන් ය.
මේ තහනමත් සමඟ අංගං ශාස්ත්‍රය ප්‍රසිද්ධියේ සමාජය තුළ පවතිනු දක්නට නොලැබේ. එය රහසිගතව පමණක් පවත්වාගෙන යන ශාස්ත්‍රයක් බවට පත්විය. කෙසේ වෙතත් පරම්පරාවෙන් පරම්පරාවට ගලාගෙන යන එකක් බවට පත්විය. මෙලෙස රහසිගතව පැවති අංගං ශාස්ත්‍රයට 1990 දශකයේ රූපවාහිනියන් විකාශය වූ දඬුබස්නාමානය ටෙලිනාට්‍ය හරයා යම් පිබිදීමක් ඇති වනු ලැබී ය.

වර්තමාන තත්ත්වය
දඬුබස්නාමානයත් සමඟ සමාජය තුළ ප්‍රචලිත වූ අංගං හි පවතින මර්මස්ථාන වලට පහරදීල, කාල හෝරා බලා පහරදීමෙන් මරණයට පත්කිරීමට හැකිවීම වැනි කරුණු නිසා අංගං ගැන වැඩි දෙනෙකු තොරතුරු සොයා බලන්න උත්සාහ දරන ආකාරයක් දැකිය හැකියි. කෙසේ වෙතත් මේ හරහා ඇතිවූ අහිතකර ප්‍රතිඵලයක් වන්නේ අංගං යැයි පවසමින් වෙනත් සටන් ක්‍රම කරලියට පැමිණීමයි.


මේ වන විටත් අංගං ශිල්පීන් අතලොස්සක් සමාජයේ සිටයත් අංගං ශිල්පීන් නමින් ව්‍යාජව සිටින පිරිසක් විවිධ සටන්ක්‍රම අංගම්පොර ලෙස ප්‍රචලිත කරන්නට උත්සාහ දරමින් සිටී. අංගං ශාස්තය මෙරට තුළ රහසිගතව කියාත්මක වන සමයේදී දකුණු ඉන්දියාවෙන් ‘මලයාලම් ලෙස්සම්‘ නමින් සටන්ක්‍රමයක් පැමිණේ. එසේම චීන වෙළඳුන්ගෙන් ‘චයිනීස් කෙම්පෝ‘ නමින් සටන් කලාවක්ද මෙරටට පැමිණෙයි. පසුකලකදී මෙම කලාව චීනඩි නමින් ලංකාවේ ප්‍රචලිත වේ. බොහෝ අය මෙකී චීන අඩි සටන් කලාව අංගං නමින් හඳුන්වන්නට උත්සාහදරන අතර, එය කිසිසේත් නිවැරදි නොවේ.


තවත් සමහරු ඉන්දියාවේ පවතින ‘කලරි‘ සටන් කලාවද අංගං ශාස්ත්‍රය ලෙස හඳුන්වන ලබයි. එයද වැරදි සහගත හැඳින්වීමකි. මී අමතරව මලයාලම් සටන් කලාවද ‘අංගං‘ නමින් සමහරු ඉදිරිපත් කරන්නට උත්සාහ දරති.
නිවැරදි අංගං හාස්ත්‍රය හඳුනාගත හැකි නිර්ණායක කිහිපයක් පවතී.
  1. නිවැරදි අංගං ශාස්ත්‍රය අපට කිසිඳු රටකින් හඳුන්වා දුන් එකක් නොවේ. එය මෙරට යක්ෂ ගෝත්‍රිකයන් නිර්මාණය කළ ස්වදේශිය සටන් කලාවකි. එය වෙනත් රටවල කිසිඳු සටන් කලාවකට සමාන නොවේ.
  2. අංගං සටන් ශාස්ත්‍රය සිංහල බෞද්ධයින්ගෙන් පිටස්තරව ඉගැන්විය නොහැක යනුවෙන් නියමයක් පැවතුණි. ඒ නිසා මෙය වෙනත් ජාතිකයන් අතට පත්වන්නේ නැත.අංගං ශාස්ත්‍රයට අනන්‍ය වූ චාරීත්‍ර වාරීත්‍ර රැසක් පවතී
  3. දේශීය සංස්කෘතියට අනන්‍යවූ ඇඳුම් පැළඳුම් අංගං සඳහා යොදා ගනී
  4. අතීතයේ අංගං ශිල්පීන් සේවය කළේ රජුට ය. ඒ නිසා කිසියම් රජවරයකුගෙන් ලැබුණු වරප්‍රසාද හා තම සටන් පරම්පරාවේ අනන්‍යතාව ඓතිහාසික සාධක මත ඔප්පු කළ හැකි විය යුතු ය.
ඌරා ළිඳ
අංගං සටන් ශිල්පීන්ගේ දක්ෂතා උරගා බලන හෝ අංගං සටන් ඉගෙන ගන්නා ශිල්පීන් සටන් පුහුණු වන ස්ථාන ඌරා ළිඳ ලෙස හැඳින්වේ. මෙම ළිඳ සැකසී තිබෙන්නේ වල් ඌරන් ජලය බීමට යන ගල්වලින් සැකසුණු ළිඳක ආකාරයෙනි. මෙම ළිඳට වතුර බීමට යන ඌරන් එහි තිබෙන බෑවුම් ස්වාභාවය නිසා ලිස්සා ගොස් නැවත එන්නට බැරි ලෙස ජලයේ ගිලෙයි. එවැනි ස්වාභාවයකට මෙම ළිඳ සකසා තිබේ. මේ අනුව අඩි දහයක් උස අඩි පහළොවක් විශ්කම්භයක් සහිත පතුළ මඩකර තිබෙන මෙම ඌරා ළිඳෙහි සටන පෑ තැටියෙන් පැයක කාලයක් පුරා දිව යයි. ඌරා ළිඳේ සටන් කරන ආකාර කීපයකට සටන් කරනු ලබයි.
  1. අයෙකු අඩපණ වන තෙක් සටන් කිරීම
  2. මරණය තෙක් සටන් කිරීම
  3. පැයක් ඇතුළත් වැඩි දක්ෂතා මත ජයග්‍රහණය තීරණය කිරීම
  4. පරාජය භාර ගන්නා තෙක් සටන් කිරීමයනාදී ලෙසයි. මෙහිදී දෙදෙනා එකඟ වන ඕනෑම ආකාරයකට සටන් කිරීම සිදු ව්.
එසේම අංගං මඩුවක ගුරුවරයා හෙවත් පනික්කිරාළ තෝරා ගැනීම සඳහාද ඌරා ළිඳේ සටන් යොදා ගනු ලබයි. මී අමතරව අතීතියේ රජුන්ගේ අංගාරක්ෂකයන් (පුද්ගලික ආරක්ෂකයා) තෝරා ගන්නා ල්ද්දේද ඌරා ළිඳේ අංගං කෙටීමෙනි.


කුණ්ඩලීනී යෝගය
කුණ්ඩලීනී ශක්තිය මිනිසාගේ යටි බඩ හා කොඳු නාරටිය ආශ්‍රිතව එකතු වී තිබෙන ශක්තියකි. නාගයෙකු දරණ ගසාගෙන සිටින ආකාරයට එය පිහිටා තිබෙන නිසා මීට කුණ්ඩලීනී යන නම යෙදී තිබේ.
අංගං ශාස්ත්‍රෙය් තිබෙන විශේෂ භාවනා අභ්‍යාස හා යෝග අභ්‍යාස ගණනක නිරත වීමෙන් ඕනෑම අංගං ශිල්පියෙකුට තම කුණ්ඩලීනී ශක්තිය වැඩි දියුණු කර ගත හැකි ය. කුණ්ඩලීනී යෝගයේ ශක්ති මට්ටම් හතක් පවතී. මේ සියලු මට්ටම් ඉගෙන ගත් අයෙකුට තම මානසික ශක්තිය සටන් සඳහා භාවිත කළ හැකිය. එසේම මනසින් යම් යම් විස්මිත ක්‍රියාකාරකම් සිදු කිරීමට ද යොදාගත හැකි ය. අතීතයේදී එක හා සමාන සටන් ශිල්පීන් සටන් කරන විට වැඩි දක්ෂතා පෙන්වීමට මෙකී මානසික ශක්තිය යොදාගනු ලැබීය. මෙහිදී තම ශාරීරික ශක්තිය විශ්ව ශක්තිය සමඟ මුසු කරනු ලැබේ. කුණ්ඩලීනී යෝගය හරහා අතීතය හා අනාගතය පිළිබඳ දැකීමට හැකියාව ලැබීම විශේෂත්වයකි.


ඉගැන්වීම
අංගං ශාස්තය ඉගැන්වීමට පෙර දේහ ලක්ෂණ, හඳහන, නැකත් බලා පමණක් මය උගන්වනු ලැබ්. එහිදී ලෙයින් දිවුරුමක් දී තිබේ.
මෙවැනි සටන් ශාස්ත්‍රයක් හන්දියක් හන්දියක් ගානේ ටියුෂන් පවත්වන්නාක් මෙන් පැවැත්විය නොහැකි ය. එසේ පවත්වන්නේ අංගං ශාස්ත්‍රය ද විය නොහැකි ය. හොඳ දේ බාල නොවේ. ව්‍යාජත්වයන් බහුලව තිබේ.


අංගං සටන්
අංගං සටන් ශාස්ත්‍රය ප්‍රධාන කොටස් 3කට බෙදේ.
1. අංගං
මෙය ආයුධ රහිතව අතපය පමණක් භාවිත කර සිදු කරන සටන් ක්‍රමයකි. මෙහිදී අතපය භාවිත කර ගැට යොදා ප්‍රතිවාදියා මරාදැමීමට හැකියාව තිබේ.
එසේම මීට අදාලව ශරීරයේ මර්මස්ථානවලට පහර දී අඩපණ කිරීම උදෙසා ‘මරැ නිල‘ නම් කොටසක්ද උගන්වනු ලැබේ.
පැනුම්, පිනුම් කොටස්ද මීටම අයත් තවත් අංගයකි. අංගං ශාස්ත්‍රයට අදාලව පිනුම් විස්සක් තිබේ.


2. ඉලංගං
අවි ආයුධ සතිතව සටන් කිරීම මෙමගින් අදහස් කෙරේ. යුද්ධයේදී භාවිත කළේ මෙම කොටසයි. මෙම කොටස් උගන්වන ස්ථානය ඉලංගම් මඩු ලෙස හඳුන්වනු ලබයි. ඌරා ළිඳේ සටන් ක්‍රමද මීටම අයත් වන්නකි.


3. මායා අංගං
මන්ත්‍ර ශාස්තය සමග සටන් කිරීම මෙමගින් අදහස් කෙරේ. මෙහිදී අංගං, කාලම්, පිල්ලි යනුවෙන් කොටස් තුනක් දක්නට ලැබේ. මීට අමතරව අංගං සටන් ශිල්පියෙකු අනිවාර්යෙන්ම ඉගෙන ගත යුතු කරුණු දෙකක් ලෙස රණබෙර වාදනය හා වෛද්‍ය ශාස්ත්‍රය දැක්වේ.
එසේම හැම අංගං සටන් ශිල්පියෙකුම කුණ්ඩලීනි යෝගය දක්වා භාවනා හරහා තම ශාරීරික හා මානසික ශක්තිය දියුණු කළ යුතු ය.

දක්ෂ අංගං ශිල්පීන්
නුවර යුගයේ දිටි දක්ෂතම අංගං ශිල්පීන් ලෙස ලෙව්කේ දිසාව, රත්වත්ත දිසාව, මීගස්තැන්නේ අදිකාරම්, ගලබොඩ දිසාව හැඳින්විය හැකි ය. එසේම ගලබොඩ කුමාරිහාමි එලෙසින් දක්ෂ සටන් ශිල්පිනියකි. සීතාවක යුගයේ සිටි දක්ෂතම කඩු සටන් ශිල්පියා ලෙස නවරත්න මැණිකේ හැඳින්විය හැකි ය. සීතාවක යුගයේ දක්ෂම අංගං ශිල්පීන් ලෙස සීතාවක රාජසිංහ රජු හා කොරතොට කුරුප්පුආරච්චි ආදීන් දැක්විය හැකි ය

2012-06-19 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.130.3000 , විකුණුම් මිල රු.134.0000 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.204.0700 , විකුණුම් මිල රු.210.5700 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.163.5500 , විකුණුම් මිල රු.169.4900 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.135.9200 , විකුණුම් මිල රු.141.4900 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.126.7400 , විකුණුම් මිල රු.131.6600 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.131.1400 , විකුණුම් මිල රු.136.5700 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.102.2500 , විකුණුම් මිල රු.106.0800 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.6424 , විකුණුම් මිල රු.1.7067 |
දහ අට සන්නිය

මහා කෝළ සන්නි යකාගේ පිරිවර අවතාර දහ අටකි. ඒ අවතාර දහ අට සන්නිය ලෙස හැඳින්වේ. සන්නි යනු රෝග විශේෂයකි. දේශීය වෛද්‍ය ශාස්ත‍්‍රයේ දැක්වෙන මූලික සන්නි රෝග රගපෑමෙන් මූර්තිමත් කිරීම සඳහා සන්නි යක්ෂයින්ගේ අවතාර යොදාගෙන ඇත. මේ සන්නි යකුන්ට එක් එක් සන්නි රෝගයේ දැක්වෙන රෝග ලක්ෂණ ආරෝපණය කැර තිබේ.
කාලයක් පුරා නොයෙක් ඇදුරු පරපුරු වලින් දහ අට සන්නි යකුන් පවත්වාගෙන ඒමේදී ඒවායේ විවිධ වෙනස් කම් සිදුව ඇත. විවිධ ගුරු කුළ හා ප‍්‍රාදේශීය වශයෙන් නිරමාණය වූ දහ අට සන්නි එකිනෙක වෙනස් කම් වලින් යුක්ත වේ. පළාතෙන් පළාතට මේවායේ භාවිත නම් වල සුළු වෙනස් කම් දක්නට ඇත. එමෙන්ම එකම සන්නියට විවිධ නම් ලැබී තිබේ. ගිනි ජල් නමින් එන සන්නිය හා අග්නි සන්නිය යනු එකම සන්නියකි. එහෙත් ඇතැම් පළාත් වල මෙම නම් දෙකෙන් සන්නි නටනු දැක්නට ලැබේ.
සන්නි යක්ෂයින් දහඅට දෙනා මිනිසාගේ ශරීරය ලෙඩ කිරීමට බෙදා ගත් අයුරු සන්නි උපතේදී දැක්වෙන්නේ මේ ආකාරයෙනි.
මළ කඳ ඇතුලෙන් ඉපදුන කුමරෙකි
උණද සෙලෙස්මා වෙන් එක ගොල්ලකි
වායු, පිතෙන් එහි හට ගත් සෙනගකි
අතුරු නහරයෙන් හටගත් සෙනගක

ඉසේ ලෙඩට පස් දෙනෙක් සද ගති
කඳේ ලෙඩට අට දෙනෙක් සදා ගති
සන්ධි වලට දහ අටට බෙදා ගති
දවසට දහසක් මිනී මරා ගති
සන්නි යකුන් ගෙන්වා ඔවුන්ට නියමිත දොළ පිදේනි ඇප කැප කර දීම දහ අට සන්නිය නැටීමෙන් අපෙක්ෂා කරන දෙයයි. එම සාර්ථකව ඉටුකළ විට දහ අටක් වූ සන්නි රෝග සුව වන බව ගැමියන්ගේ විශ්වාසය විය.
සන්නි යකුන් රග මඩලට පැමිණි විට සංවාදයේ යෙදෙයි. ඔවුන් බොහෝ විට පැමිණේනනේ බියකරු ස්වභාවයක් මවා පෙන්වමිනි. මළ, හත්තිලව්වයි, ආදී වචන කියමින් කෑ ගසයි. ඉතා ග‍්‍රාමීය වූ භාෂාවකින් සන්නි යකු සහ ඇදුරන් අතර සංවාදය සිදුවෙයි. බොහෝ වට එය සෘජුව වදන් නොකියා පද පෙරැුළි ඇතිව පැවසීම තුළින් හාස්‍ය දනවන්නක් වෙයි. වැරදි වචන නිවැරදි කරමින් ගුරුන්නාන්සේ සංවාදය ඉදිරයට කරගෙන යයි. යක්ෂයාගේ කුරිරු නපුරු අදහස්ද මේ සංවාදයේ ගැබ්ව තිබේ. ඇතැම් විට ජුගුප්සා ජනක හැ`ගීම් ද මතු කරයි. මේ සංවාදයන් සන්නි දහ අටේදීම මූලික වශයෙන් එකම ආකාරයක් ගනී.
අවසානයේ ආතුරයාටද සෙත් පතා යකා නික්ම යයි.

1 මරු සන්නි යකා

මහත් භයානක යක්ෂයකු වන මරු සන්නි යකා දැනට ඇතැම් ප‍්‍රදේශ වල සන්නි යකුමි ප‍්‍රථමයෙන් රග දක්වයි. මරු සන්නිය කාල වර්ණ පැහැ වෙයි. ඉසකේ සැඩපලූ ගෙතී ඇත. දිග රුදුරු දත් හා දළ වලින් යුතු මුවක් තිබේ. කොළ අතු වලින් යටිකය සරසා ගෙන දල්වන ලද දුනු පන්දමක් අතකින් ගෙන පැමිණේ. ඇතැම් පළාත්හි මෙම සන්නියට කළු වැදි සන්නිය යැයි ව්‍යවහාර කැරේ.
එන කල දුන්න ගෙන සුරතට දුන්න ලෙසින්
වන කල සන්නියකු හට අතු කඩා දෙමින්
වන කල සියළු ලෙඩ පිරිපත දුරැර හරින්
ගිනිමරු සන්නි යකු මෙපුදට විගස වරෙන්
මේ යකාට කවි ගායනා සඳහා ආරාධනා ලැබේ. යකුගේ උපත දැක්වෙන යාදින්න සමග වෙනත් කවි කියද්දී මේ යකා සබයට එන්නේ හූ හඩ තලමින් අති භයංකර ආකාරයෙනි.

2 අමුක්කු සන්නි යකා

අමුක්කු සන්නිය යනු මුහුණ කට ඇදවීමෙන් සෑදෙන රෝගයකි. කථාව ගොළු වී, දෙ ඇස් ඇඳිරිවී, කටින් කෙළ වැගිරෙන මෙම රෝගයේදී අංශ භාගය නම් වාත රෝගය වැළදෙන බව පැවැසේ.
අමුක්කු සන්නි යකාගේ මුහුණ එම රෝගයේදී මෙන් එක පැත්තකට ඇදවී විරූපී වී තිබෙ. මුවේ දළ ඇත. දෙ ඇස් අඳුරු පැහැතිය. අතෙහි මුගුරක් වේ.
යෝගාරත්නාකරය නැමැති වෙද කම් ගැන සඳහන් වන පුරාණ ග‍්‍රන්ථයෙහි අමුක්කු සන්නිය දැක්වෙන්නේ මේ ආකාරයෙනි.
බස්ගොළු ඇස් දෙක ඇඳිරි කරන්නේ
මුකයේ කෙළ කැටි ගලිටු කරන්නේ
සීනෙන් අගනන් තොස කර වන්නේ
අමුක්කු සන්නිය නමැයි කියන්නේ

3 වෙඩි සන්නි යකා

අතීතයේ මුගුරක් අතැතිව ආ වෙඩි සන්නි යකාගේ අතේ දැන් ඇත්තේ බෙහෙත් කොටන තුවක්කුවකි. එයට බෙහෙත් කොටන ආකාරය දක්වමින් හාස්‍ය උපදවන රංගනයක යෙදෙන වෙඩි සන්නි යකා ර`ග මඩලට ගෙන්වන්නේ මේ කවියෙනි.
තඩි අරගෙන තුන් මන්සල ඉන්නේ
උල්කර මුගුරක් සුරත දරන්නේ
ගඩු නංවා ඇග සලිත කරන්නේ
වෙඩි සන්නිය පුද ඉල්ලා එන්නේ
නපුරු ගතිය ඉස්මතු කරන ඇස් වලින් යුතු වෙඩි සන්නි යකාගේ මුහුණ කොළ පැහැතිය.
මුව රැඳුණු දත් කිහිපයක් ද වෙයි
කණ යට ගෙඩි කර සැරවයි එන්නේ
මූණේ ගිනිජල් නිබඳ කරන්නේ
දෑතේ දෙපයේ දාඩිය එන්නේ
වෙඩි සන්නිය කළ ලෙඩ දැන ගන්නේ
වෙඩි සන්නියේ රෝග දැක්වෙන්වෙන්නේ ඒ ආකාරයෙනි.

4 කණ සන්නි යකා

සැරයටියක් අතින් ගෙන වේදිකාවට එන මේ යකාගේ දෑස් නොපෙනේ. අන්ධ සන්නිය ලෙස වෛද්‍ය ග‍්‍රන්ථවල දක්වා තිබෙන මෙම සන්නිය සඳහා පළඳවන වෙස් මුහුණ තරමක් පළල්ව සාදා ඇති අතර අන්ධ බව දැක්වීමට සුදු ඉංගිරියාව පුළුල්ව පෙන්වා තිබේ.
පළල් මුඛයේ දත් රැසක් ද වේ. කන් දෙකද විශාලය. ඇස් අන්ධ වූ විට වඩා හොඳින් ඇසෙන බව පෙන්වීමට විශාල කන් යොදා ගන්නට ඇත. නාසයද විශාලව සාදා තිබේ.
වන පිළිකා ඉසරද කකියන් නේ
තැන, තැන, ගොස් බිම ඇද පෙරළෙන් නේ
අනුහසයෙන් සෝබිත මුනිඳුන් නේ
කණ සන්නිය පුද ඉල්ලා එන් නේ
වණ, තුවාල, ඉසරදය ආදිය කණ සන්නියෙන් සෑදෙන රෝග වල ලකුණු බව මෙම කවියෙන් පැහැදිලි වේ.

5 බිහිරි සන්නි යකා

මහත් වේගයකින් වේදිකාවට පැමිණෙන බිහිරි සන්නි යකා උණ, කථාව, අධිකව පැවැතීම , බිහිරි බව , උඩට හුස්ම ගැනීම, වෙව්ලීම, සීතල, හිතේ තැවීම, කම්මුලේ ගෙඩි මතුවීම ආදිය මේ සන්නි යකාගෙන් සෑදෙන රෝග ලෙස දේශීය වෙදකමේ සඳහන් වන්නේ මෙලෙසිනි
ජ්වරද හැමකල් බිණිම දෙකන් බිහිරි වන්නේ
ඌර්ද ස්වාසය වෙව්ලූම් සීතද කම්පා වන්නේ
කම්මුල සී ගඩුවක් මෙන් එලෙසම පෙණෙ මින්නේ
නපුරු කර්ණ සන්නිය නුවණැතියෙනි දැන ගන්නේ
බිහිරි සන්නියේ මුහුණේ බියකරු දත් නැත. මුහුණ පියවී ඇත. දෙ ඇස් මනාව විවෘතව ඇත. කන් දෙකට පහතින් ඇති රේඛා දෙකකින් බිහිරි බව පෙන්නුම් කරයි. කන බිහිරි නිසා සංවාදයේදී නැවත නැවතත් කීමට සිදුවීම හාස්‍ය උත්පාදක අවස්ථාවකි.

6 ගොළු සන්නි යකා

කළු පැහැයෙන් සැරසුණු යකෙකුට භිය වීමෙන් ආතුරයා ගොළු බවට පත්කැරෙන මේ ආබාධය හේතුවෙන් නිදිමත ගතිය ඇතිවේ. ශරීරයේ උෂ්ණාධික ගතිය හා ආමාශයේ අර්බුද ඇති වේ
ගොළු සන්නියට පළඳින වෙස් මුහුණ දෙස බල විට එහි මුඛයේ ස්වරූපය වඩාත් කැපී පෙනෙන අයුරින් සකස් කොට ඇත. මුඛය වටා වූ රැළි වලින් ගොළු බව නිරූපනය වේ. දෙකන් විශාලය, නළල රැුළි තුනකින් යුතුය.
පෙර අකුසල් බලෙන් ගොළුව අතින් පයින් බස් අගවන
දිඩත සිත් නපුරු කමන් විසල් නුවර වැනසූ පොරණ
දුරුකර ජනපත සෙත්කර දිවකුරු මුනි අනුහ සයෙන
වර මෙරහට ඉසානයෙන් ගොළු සන්නිය දැක භෝජන
මේ ගොළු සන්නි යකා ර`ග මඩලට පැමිණි පසු සංවාදයේ යෙදෙන්නේ අතින් පයින් ආදී අභිනය විලාශයෙනි. එහෙත් දොළ පිදේනි කැප කළ පසු රෝගය දුරලන ගොළු සන්නි යකා අවසානයේ කථා කර විස්තර කියයි.

7 කොර සන්නි යකා

බෙල්ලෙන් උඩ කොර වීම, සන්ධිවල උෂ්ණාධික බව, රාතී‍්‍ර නිදිමත අධික බව, ඇතුළු ශරීරයේ අත පා කොරවීම, ආදී රෝග ඇති කරන කොර සන්නි යකා වේදිකාවට ගෙන්වීමේදී මෙම කවිය ගායනා කැරේ
දුර සිට බැල්මේ දිස්ටිය හෙලමින
කොරකොට අත්පා ඔත්පොල කරවන
වෙරකොට ආතුර මරම් සිතා ගෙන
කොර සන්නිය එයි පුද ඉල්ලා ගෙන
කොර සන්නි යකාගේ මුහුණ කොර ගතිය විදහා පාන ආකාරයෙන් සකසා තිබේ. ඒ මුහුණ එක් පැත්තකට ඇලවී ඇත. මුහුණ නපුරු ගතියකින් යුතු වේ. කොළ පැහැතිය. පළල් රතු දෙතොලකි. දකුණතේ යමගුරකි. වමතට අතු කැටියකි.

8 මුර්තු සන්නි යකා

පැණි රස කෑ මට විරුද්ධ වේයා
සෙම් පිත් නාඩිය පටලව තේයා
වාත නාඩි සීඝ‍්‍රව ගම නේයා
මුර්තු සන්නි කළ ලෙඩ අප තේයා
යන කවි ගායනය සමග මුර්තු සන්නි යකා වේදිකාවට පිවිසේ. මේ සන්නි යකාගෙන් ඇති වන්නේ මර්ජාව සමග වාතයෙන් හටගන්නා රෝගයකි. මෙම යකාගේ වෙස් මුහුණේ රෝගී භාවය නිරූපිතය. වෙනත් යක්ෂ මුහුණු වලට වඩා මේ මුහුණේ ඇස් වෙනස් කැර ඇත. ඒවා දිගටිය. මූඛය ද මද වශයෙන් දත් පෙනෙන ලෙස පියවී තිබේ.

9 ගුල්ම සන්නි යකා

ගුල්ම සන්නි යකාගෙන් වැළඳෙන මූලික රෝගය වන්නේ බඬේ අමාරුවයි. මෙය පණුවන්ට සම්බන්ධ රෝගයකි. වමනය, බඩරුජාව, කැවිලි නොකෑ, පිළිරස මිශ‍්‍ර පැණි රස කෑමට කැමැති වීම මෙහි රෝග ලක්ෂණ වේ.
බඩ හෝ ගාමින් වමනේ එන්නේ
රුජා ද ගනිමින් කැවිලි නොකන්නේ
පිළිමුසු පැණිරසමයි ඌ කන්නේ
ගුල්ම සන්නි ලෙඩ ඉන් දැන ගන්නෙ
මෙම සන්නි යකාගේ මුහුණ රවුම් හැඩයක් ගනී. ලා කහ වර්ණයෙන් යුක්ත එහි මුඛය කන් දෙක දෙසට දික්ව ඇත. මුව දෙපස දළ දෙකක්ද තිබේ. රෝගී ස්වභාවයක් පෙන්වන රවුම් ඇස් ද ඇත.

10 ජල සන්නි යකා

ජල සන්නිය යනු ප‍්‍රකට රෝගයකි. ඔක්කාරය, වමනය, ඇග පළු ගැන්වීම බඩපුරවා දමා යෑම යන රෝග ලක්ෂණ ඇති මෙම රෝග ලක්ෂණ ඇති කරන ජල සන්නි යකා රගමඩලට ගෙන්වන්නේ මෙය ගායනා කිරීමෙනි.
ඔක්කාරය සහ වමනය වන්නේ
තිස්පැය ඇගපළු නිබඳ ගැසෙන්නේ
උත්තිල බඩ ලෙඩයෙනි පණ යන්නේ
ජල සන්නිය ලෙඩ ඉන් දැන ගන්නේ
මෙම සන්නි යකාට ඇත්තේ එකිනෙක පූට්ටු වූ දත් දෙපළකි. මූණ දෙපසේ රැවුලකි. නළලේ නයි පෙනයකි.

11 අග්නි සන්නි යකා

ඇගපත වෙව්ලීම, කෑම බීම අරුචිය, කන් ලෙඩවීම, තද උණ ගැනීම ආදිය මෙම සන්නි රෝගයේ ලක්ෂණ වේ. මේ සන්නි යකු එන්නේ කොන්තායුධ ගනිමින් ගිනි සැර විහිදුවමිනි.
අග්නි සන්නි යකා විකෘති ලක්ෂණ වලින් යුතුය. රවුම් දෙනෙත, ඉතා දිග දත්, පළලට අරුණු මුඛය එහි දක්නට ඇත. මුඛයේ දිග දත් ගිණි දළු විලසින් දැක්වේ.
ගිනි සැර කොන්තා යුද අර ගන්නේ
ඉසිවර දුන් කැද ගොටුදෙක දෙන්නේ
මක්කම සමනල අණ දැන ගන්නේ
අග්නි සන්නි කළ ලෙඩ හැර යන්නේ

12 පිස්සු සන්නි යකා

උම්මත්ක බව හෙවත් පිස්සු ඇති කරන්නේ පිස්සු සන්නි යකා විසිනි. උණ, බිණීම, නුවන අහිමි වීම ඉන්ද්‍රිය පාලනයකින් තොරවීම, ඇ`ග පලූ නැගීම, ආදී රෝග ඇති කරන්නේ පිස්සු සන්නි යකා විසිනි.
පිස්සු සන්නි යකා වේදිකාවට පැමිණි විට තම පිස්සු ගතිය පෙන්වයි. විකට රසයෙන් යුතු සංවාදයේ යෙදේ. නපුරු ගතියක් පෙනෙන රවුම් ඇස් සහ තැන තැන කොට රැුවුල් ගස් ඇති මුහුණේ දළ රහිත රතු දත් පෙළකි. හිසකෙස් නොමැත.

13 වාත සන්නි යකා

වා, පිත්, සෙම් යන ති‍්‍රදෝෂයන් රෝගවලට හේතු වන්නේ වාත සන්නි යකුය.
වෙස් මුහුණ කොළ පැහැ ගැන්වී ඇත. එය නොයිවසිලි ස්වභාවයක් ගනී.
ඉදිමි බඩ ලෙඩ ඉසරද ගන් නේ
වැදූ ගෙයක් මෙන් බලා සිටින් නේ
වෙව්ලූම් ඇගගති තොර නොකරන් නේ
වාත සන්නි ලෙඩ ඉන් දැන ගන් නේ

14 බූත සන්නි යකා

මේ යකු වාසය කරන්නේ ඈත ගුවන් තලයේය. රාතී‍්‍ර කාලයේ පෘථිවි තලයට බැස හොල්මන් කරයි. රෝගියාගේ මිනිස් ගති ගුණ වෙනත් අතකට හැරවීම මෙම රෝගයෙන් දැක්වෙන නිසා විකාර කිරීම යන අර්ථය ඇතිව බූත සන්නි යකා ලෙස නම් තබා තිබේ.
ඉතා නපුරු ස්වභාවයක් ගන්නා වෙස් මුහුණකි. කොළ පැහැති වර්ණයෙන් යුතු වන අතර මුඛයේ එක් පැත්තකින් දිව මදක් එළියට පැමිණ ඇත. ඇස් දෙකට පහළින් රේඛා තුනක් දැක්වේ. සුදු පැහැති දත් දෙපළකි. නාසය විශාලය
පිත් නාඩිය හිරි වැටී සිටින් නේ
වාත නාඩි පෙරළි වැටෙමින් නේ
සෙම් නාඩිය සැංගි වැටෙමින් නේ
බූත සන්නි කළ ලෙඩ ඒ දන් නේ

15 පිත් සන්නි යකා

පිත අධික වීමෙන් හටගන්නා වූ බඩ ගිණි ගතිය ඇතිවීම, ?ට සිහිනෙන් භියවීම, ආදිය ඇතිවීම පිත් සන්නි යකා නිසා සිදුවේ. පිත කිපුණු කාලයේ ඔල්මාද ගතිය පවා ඇතිවේ.
තෙප් කොන්තය මෙන් කෙළ ඇවිදින් නේ
තිස්පැය සීනෙන් අනුවම එන් නේ
අග්නි මන්ද යන ලෙඩ කර වන් නේ
පිත් සන්නිය ලෙඩ ඉන් දැන ගන් නේ
මෙම මුහුණින් පෙනෙන්නේ මහත් වේදනාකාරී ස්වරූපයකි. රවුම් ඇස් සහ කළු කෙස් ඇත. මුහුණේ ඉදිමුණු ස්වරූපයකි. මුවේ උඩ දත් පේලිය පමණක් දැක්වේ.

16 අභූත සන්නි යකා

දෙකම්මුල් ඉදිමීම, ඇග සෙම් ගෙඩි හට ගැනීම, සන්ධිපත් රුජාව , ආදිය අභූත සන්නි යකාගෙන් සිදුවේ. දුටුවන් භිය පත් කරවන මේ සන්නි යකු ද ගුවනේ සිට බිමට බැස රෝග ඇති කරවයි.

17 දේව සන්නි යකා

ගම් රටවල් පාළු කරමින් ගම්වලට වැදී මිනිස් සිරුර ක්ෂය කර දමයි. ශරීර රුදා ඇති කරවයි. හත් දවසකින් මය යන රෝගයක් ඇති කරවයි. එය විසාල මහ නුවර ඇතිවූ අභිගාතක රෝගය යැයි විශ්වාස කැරේ.
දගගෙට වදිමින් මිනී මරන්
ගමකට බැල්මෙහි පාළු කරන් නේ

නේ
ඒ ගම ඇර ගිය කෙනෙකි දිනන් නේ
දේව සන්නි ලෙඩ ඉන් දැන ගන් නේ
මෙම සන්නි යකාගේ වෙස් මුහුණ අනෙක් සියලූ සන්නි යකුන්ගේ මුහුණු වලට වඩා වෙනස් ස්වභායක් ගනී. එහි හිසට ඔටුන්නකි. මුහුණ රන් පැහැතිය. මුහුණේ විකාර රූපී ස්වභාය අඩුය. ඒ හේතුවන් දුටු විට ගරු සරු බියක් ඇති කරවා තිබේ.
18 කෝල සන්නි යකා
සිහංල වෙදකමේ කෝළ දහ අටක් ගැන සඳහන් වේ. මේවා ඇතිකරන සන්නි යකා කෝල සන්නි යකා ලෙස හැඳින්වේ. උගුර දෙපැත්තේගෙඩි හට ගන්නා කථාව නැතිව රෝගී වන තත්ත්වයක් හටගනී. ආමාශගත අමාරුවව ද හටගනී.
උල්වූ තළල්ලක්, රුදුරු දෙනෙතක්, යටි තාළ නොමැතිව උල් දත් කිහිපයක් ඇති මුඛයක් මෙම සන්නි යකාගේ ස්වරූපය වෙයි.
කෝළ වෙලා උඩබිම බලමන් නේ
ලීල නොකර බඩ ලෙඩ කරවන් නේ
දෑල උගුරේ ගෙඩි දෙක හට ගන් නේ
කෝළ සන්නි පුද ඉල්ලා එන් නේ
මේ සන්නි දහ අට අවසානයේ දහ අටක් වූ සන්නි යක්ෂයන්ගේ නායකයා වන මහා කෝළ සන්නි යක්ෂයා එයි. ඔහුගේ හිසේ ගොක් ගොක්කොළ වලින් සෑදූ ඔටුන්නකි. එහි නයි පෙන පහක් ද දැක්වේ. යටි කයට කළු සුදු මුසු සේලයක් ද කාල වර්ණ ලොම් වලින්යුතු හැට්යක් උඩු කයටද ද හැඳ ඉන වටා කෙසෙල් හා ගොක් පතින් සෑදූ හතරැස් තට්ටුවක් ද පළඳී.
මෙම යකුට පැමිණීමට ආරාධනා කිරීමෙන් අනතුරුව සන්නි යකා පැමිණේ. යකා ආතුරයා දෙසට යන මග බාධාවකි. නාථ, සමන්, පත්තිනි දෙවි වරුනුගේ ආඥාව අනුව මුර සෙබළු මෝල් ගස් දෙකක් කතිර හැඩයට තබා අල්ලාගෙන යකාට යන්නට නොදෙති.
සැර පරුෂ කර බලෙන් යාමට උත්සාහ ගන්නා යකා පසුව කෙසෙල් හා කැවිළි වර්ග දෙන බව කියා යාමට අවසර ඉල්ලයි. අවසානයේ මේ කඩවත බුදුරදුගේ කඩවතක් බව මුර සෙබළු පවසති.
බුදු රදුන්ගේ සන්නසක් ගෙන ආවොත් යන්නට දෙන බව කියූ පසු යක්ෂයා තල්පතක් ගෙන කකුලේ ඇගිල්ල මත තබා එය දෙයි. එය පිළිගත නොහැකි බවත් ගරු සරු ඇතිව දිය යුතු බවත් මුර භටයෝ කියති. එවිට යකා දණහිස, උරහිස, නාසය මත තබා සන්නස භාර දී ඒ කිසි අයුරකට එකග නොවීම නිසා අවසානයේ හිස මත තබා භාර දෙයි. එවිට එහි ඇති දෙය කියවන ලෙස කියා සිටී. එවිට යක්ෂයා හඩන්නට පටන් ගනී. බුදුහිමි තමන්ට මිනිස් ලොවට යාමට අවසර දී ඇතත් නරබිලි ගැනීම තහනම් කැර ඇති බව යකා පවසයි. මනුලොව රෝගීන් වෙනුවෙන් දොළ පුදගෙන රෝග දුරු කිරීමට බුදුන් නියම කැර ඇතැයි ද කියයි. ඉන්පසු යක්ෂයාගේ නපුරු ස්වභාවය අඩුවේ. කඩදොරින් යන්නට දෙයි.
ආතුරයා වෙත යන යක්ෂයා. තමාට කැප කර දෙන දෙල පිදේනි සියල්ල ඉන බැඳි තටුවට අසුරාගෙන කුකුළෙකුද බිලි පුදට දුන් විට එයද රැගෙන ආතුරයාට සෙත් පතා යකා නික්මයයි.
එතැනින් දහ අට සන්නිය අවසන් වේ.

පත්තිනි දේවියගේ ආශිර්වාදය ලැබෙන හැටි

පත්තිනි සළඹ සොයා වන වැදුණු ගමනේදී පත්තිනි දේව මෑණියන්ගේ බලය කොපමණදැයි මනාවට පැහැදිලි විය. ඒ පිළිබඳව ඉකුත් මැයි 27 වැනිදා පළවූ ලිපිය කියැවූ දිවයිනේ නන්දෙසින් වූ ජනතාවගෙන් දුරකථන ඇමතුම් ගලා ආවේ පත්තිනි සළඹේ ආශිර්වාදය ලබා ගන්නේ කෙසේදැයි විමසමිනි.
විශේෂයෙන්ම දරුවන් නොමැති කාන්තාවන්ට දරුවන් ලබා දීමටත්, කිරි දරුවන් ආරක්ෂා කර ගැනීමටත්, අසාධ්‍ය රෝගීන් සුවපත් කර දීමටත් පත්තිනි දේව මෑණියන් පිහිට වන බවට බොහෝ දෙනකුගේ අදහසයි. ඒ නිසාම ඊට බෙහෙවින් ඉවහල් වන්නා වූ පත්තිනි සළඹේ උපත පිළිබඳව දැන ගැනීමට වැඩි දෙනෙක් කැමතිය.
නාකුළුගමුව, හඳපාන්ගොඩැල්ල නව සොහොන් කාලි දේවාලයේ සුජීව ප‍්‍රසන්න මංගල කපු මහතා අසරණ ජනතාව දුකින් මුදා ගැනීමට උපයෝගී කර ගන්නා පත්තිනි සළඹේ උපත පිළිබඳ කතන්දරය මෙලෙස ඉදිරිපත් කළේය.
”පත්තිනි දේවිය ඉන්දියාවේ පඬිපුර සිටු පවුලක උපත ලද කෙනෙක්, එතුමිය කුඩා කල බත් කවන දවසේ මාපියන් දායාදයක් ලෙස පා සළඹ දෙකක් දුන්නා. හරියට අපේ කුඩා දරුවන්ට පංචායුධයක් දමනවා වගේ දෙයක්. ඒ අනුව කල වයස ගියාම පත්තිනි දේවිය පඬුවස් නුවර පාලම් කුමරුට විවාහ කර දුන්නා.
විවාහ වුණත් පත්තිනි දේවිය සිය පතිවෘතය ආරක්ෂා කර ගත්තා. ඒ නිසාම පාලම් කුමරු නළඟනක් ඇසුරු කරන්න පටන් ගත්තා. ඇය සමග බොහොම හොඳින් විනෝද වුණා. පත්තිනි දේවියගෙන් ලබා ගත නොහැකි සැප සම්පත් නළඟන ඔහුට දුන්නා. කාලය ගෙවී යද්දී පාලම් කුමරුගේ සියලූ ධනස්කන්ධ විනාශ වුණා. කිසිවක් නොමැති නිසා නළඟන ද ඔහු අතහැර දැමුවා.
අවසානයේදී පාලම් කුමරුට නැවත වරක් පත්තිනි දේවිය ළඟට යන්න සිද්ධ වුණා. පතිවෘතාව රැුකගෙන සිටි ඇය ඔහුට සමාව දී භාර ගත්තා. ඒ වන විට පත්තිනි දේවිය ළඟ කාම කියා දාසියක් ද සිටියා. එහෙත් මේ තුන්දෙනාට ජීවත් වෙන්න මිල මුදල් අතේ තිබුණෙ නැහැ. ඒ නිසා පත්තිනි දේවිය සිය මාපියන් විසින් දායාද කරන ලද පා සළඹ දෙකෙන් එකක් පාලම් කුමරු අත තබා එය විකුණා මුදල් ලබාගෙන එන ලෙස පැවසුවා. ජීවත්වීමට අවශ්‍ය මුදල් සොයා ගැනීමට එය විකිණීමට රැුගෙන ගියත් එම නුවර කිසිදු වෙළෙන්දකුට සළඹ මිලදී ගැනීමට නොහැකි වූයේ එහි වටිනාකමට සරිලන ධනස්කන්දයක් ඔවුන් සතුව නොතිබුනු නිසාය. එම වෙළෙන්ඳන් වැඩිදෙනකු පැවසුවේ අදාළ සළඹ විකුණා ගැනීමට නම් ධනවත් වෙළෙඳුන් සිටින පඬුවස් නුවරට යන ලෙසයි.
ඒ අනුව පාලම් කුමරු සිය බිරිඳ පත්තිනි දේවිය හා කාලි නමැති දාසියද සමග අව් වැසි නොතකා පඬි නුවර වෙත යාමට පිටත් විය. කාන්තාර, වැලි කඳු, වගුරු බිම් සහිත මාර්ගය පත්තිනි දේවියට දුෂ්කර ගමනක් විය. ඒ යන අතරමගදී ඔවුන්ට ගොපලූ නිවෙසක් හමුවිය. තවදුරටත් ඉදිරියට යාමට නොහැකි නිසා පාලම් කුමරු පත්තිනි දේවිය හා දාසිය ගොපලූ නිවෙසේ පදිංචිකරුවන්ට භාරදී සළඹ විකිණීම සඳහා තනිවම පිටත්ව ගියේ ඉතා ඉක්මණින් නැවත පැමිණෙන බව දැනුම්දෙමිනි.
ඒ වන විට පඬි රජතුමාගේ බිරිඳගේ පා සළඹක් නැතිවීම නිසා අණබෙර කරුවන් ඒ පිළිබඳව මුළු නුවරම පදිංචි ජනතාව දැනුවත් කර තිබුණි. මේ නිසා පාලම් කුමරු රැුගෙන ගිය සළඹ මිලදී ගැනීමට කිසිදු වෙළෙන්ඳෙකු ඉදිරිපත් නොවීය. අවසානයේදී ඒ පුවත පඬි රජුගේ පුරෝහිතයන්ටද ආරංචි විය. ඔවුන් වහා ඒ බව රජුට පවසා පාලම් කුමරු අල්ලා රැගෙන ආවේය.
රජතුමා රන්කරුවකු ගෙන්වා අදාළ පා සළඹ පරීක්ෂා කරන්නට විය. රජ දේවියගේ අනෙක් පා සළඹ සමග සංසන්දනය කොට මෙය නැතිවූ සළඹ බවට ඔහු ප‍්‍රකාශ කළේය. එහෙත් එය පැළඳ සිටි දේවිය පාලම් කුමරු අත තිබූ පා සළඹ තමාගේ නොවන බවට ප‍්‍රකාශ කළාය.
රන්කරුවාගේ කියමන බාරගත් පඬි රජතුමා පාලම් කුමරුගේ හිස ගසා දමා කොහොඹ ගසක් යට වළ දමන ලෙස රාජ පුරුෂයන්ට නියෝග කළේය. තවද ඒ බව කිසිවකුට හෝ අතින් කීවොත් අත කපා දමන බවටද කටින් කීවොත් කට කපා දමන බවට ද රාජ නියෝගයක් නිකුත් කළේය.
 

ඒ අනුව පාලම් කුමරුගේ හිස ගසා දමා සිරුර කොහොඹ ගසක් යට මිහිදන් කෙරිණි. ඒ පිළිබඳව කවියකින් විස්තර කළ සුජීව ප‍්‍රසන්න මංගල කපු මහතා :
ගොපලූ ගෙයක ඉඳ පා ළඟ
සළඹ විකුණා ගෙන එන තුරු
ගොපලූ ලියක් අතින් අසා
හිමි මැරු තැන ලෙසට නිබරු

ගොපලූ අසා දිව යුරු හට
කියමින් නොයෙකුත් ගති බොරු
සියලූ රෝග දුක් දුර හැර
පත්තිනි සඳ කරන මෙදුරු


සිය සැමියා නැවත පැමිණෙන තෙක් කාලයක් බලා සිටි පත්තිනි දේවියට ඔහුට කරදරයක් වන්නට ඇති බවට ආරංචි ආවත් ඇය ඒවා නොපිළිත්තාය. අවසානයේ කුමරු සොයමින් පත්තිනි දේවිය කාලි දාසිය සමග පඬි නුවර වෙත පිටත් වූවාය. අතරමගදී කෑමට අවශ්‍ය රස කැවිලිද ඊට පෙර සාදා ගත්තාය. ටික දුරක් යන විට ඒ දෙදෙනාට ගඟක් හමුවිණි. පාරුවක සිටි තොටියට කතා කොට ගෙඟන් එගොඩ කරන ලෙස ඉල්ලා සිටියත් තොටියා එම ඉල්ලීම ප‍්‍රතික්ෂේප කළේය.
එවිට අතේ දමා තිබූ මැණික් ගල් අල්ලන ලද පේරස් මුද්ද ගැලවූ පත්තිනි දේවිය අධිෂ්ඨානයක් කළාය. ඒ මාගේ පතිවෘත බලය සත්‍ය නම් මේ ගඟ දෙබෑ වී සුදු වැලි මතුවේවා යන්නයි. ක්ෂණයකින් මුද්ද ගඟට විසිකළ පසු ඒ දෙයම සිදුවිය.
එතැන් සිට පත්තිනි දේවිය දාසිය ද සමග සුදු වැලි තලාවක් ඔස්සේ ගෙඟන් එගොඩ විය. ඉන්පසු නැවතත් මුද්ද අහුලා ගෙන තමන්ට අපහාස කොට ගෙඟන් එගොඩ නොකළ තොටියා හා ඔහුගේ පරම්පරාවට වඳුරු වසංගතයක් සෑදී විනාශ වේවායි ප‍්‍රාර්ථනය කළාය. එයද ඒ ආකාරයෙන්ම සිදුවිණි.
පඬි නුවරට ගිය පසු පත්තිනි මෑණි පාලම් කුමරු සොයා ඇවිද්දත් කිසිවකුත් ඇයට නිවැරදි තොරතුරක් ලබා නොදුන්නේ රාජ්‍ය ආඥාවට බියවීම නිසාය. තව ටිකක් සොයා බලන විට පත්තිනි මෑණියන්ට කුඩා දරුවන් දෙදෙනෙකු මුණ ගැසිණි. ඒ පඬි රජතුමාගේ දරුවන් බවට පත්තිනි මෑණියන්ට දිවැසින් මෙන් අවබෝධ විය.
ඇය කෑමට ගෙනවිත් තිබූ රස කැවිලිවලින් කොටසක් දරු දෙදෙනාට දී පාලම් කුමරු ගැන තොරතුරු ඇසුවාය. ඊට පිළිතුරු දුන් දරුවන් කියා සිටියේ සිය පිය රජතුමා පාලම් කුමරු මරා කොහොඹ ගසක් යට වළ දැමූ බවයි. අදාළ ගසද පෙන්වූහ.
එවිට පත්තිනි දේවියන්ට පාලනය කරගත නොහැකි කේන්තියක් ආවාය. ඇය කෝපයෙන් රජු හමුවීම සඳහා මාලිගය තුළට ගියේ රාජ පුරුෂයන්ද පසෙකට තල්ලූ කර දමමිනි. පත්තිනි දේවිය සිය සැමියා නිකරුනේ මරා දැමීම ගැන රජතුමාට චෝදනා කරන විට රජතුමා කෝපයෙන් යුතුව ”උඹේ තනේ ගලවලා කටේ ගසනවා” යයි පවසා තිබේ.
ඒ අනුව වියරුවෙන් මෙන් සිටි පත්තිනි දේවිය සිය වම් තනය අතින් කඩා රජතුමා දෙසට විසිකර දමා ගැසුවේ තම සැමියා මරණ ලද රජු ඇතුළු සියලූදෙනා ලෙඩ රෝග සෑදී විනාශ විය යුතු බවට ශාප කරමිනි. ඊට බොරු කියන ලද රන්කරුවාටද සාප කළේය. ඒ අනුව ඉතා කෙටි කාලයක් තුළදී ඒ සියලූදෙනා විනාශයට පත්වූහ. අධර්මයෙන් ජීවත්වන අය ඉතා ඉක්මනින් විනාශ වන බවද ධර්මයෙන් ජීවත් වන අයට පමණක් මේ ලෝකයේ ජීවත් විය හැකි බවටද පත්තිනි දේවිය එමගින් පෙන්වා සිටියාය. ඉන් පසු පත්තිනි දේවියට සිය සළඹ නැවත වරක් හිමි විය.
ඒ නිසා පත්තිනි සළඹ කුඩා දරුවන්ට හා දරුවන් නොමැති කාන්තාවන්ට දරු ඵල ලබාදීමට බෙහෙවින් ඉවහල් වන බව කියති.

පත්තිනි සළඹ මගින් ලෙඩ දුක් සුව කරන අයුරු ආරූඪයෙන් කී සුජීව ප‍්‍රසන්න මංගල කපු මහතා :
 

අම්මා පත්තිනි සඳ     සැතපෙන්නේ
දැන් මා මේ කී පුවත     අසන්නේ
ඉන් ඇත රෝ දුක් දුරු     පලවන්නේ
ඉන් නද ඔබගේ අණ     පවතින්නේ

අම්මා පත්තිනි ඉන්     තෙද දේවා
අම්මාගේ අණ සක ඉන්     පැති රේවා
සියලූම නරහට සෙත     සැලසේවා
පත්තිනි මවුනි දොස්     දුරු වේවා

ආවයි ඔබේ දෙපතුල් ළඟ     අම්මේ
නරයින් දුක කියනවා බුදු     අම්මේ
ඔබද එලෙස අනුකම්පා     අම්මේ
පිහිටක් දෙනවද පත්තිනි     අම්මේ

අපගේ දරු හට ලෙඩ වී     ඇත්තේ
දෙවි දොස් ඇත දය සමාව     දෙන්නේ
අප අත වරදට සමාව     දෙන්නේ
පත්තිනි මවුනි අප රැක     දෙන්නේ

කිරි අම්මලා සත් දෙන     සමගින්නේ
අලූයම ජාමෙට ගෙට     ගොඩ වෙන්නේ
බාර හාර ඔප්පු     කර එන්නේ
පත්තිනි මවුනි දොස්     දුරු වෙන්නේ

තෙදය බලය පෑ පත්තිනි     අම්මේ
පතිවෘත්තා බල රැුක්කයි     අම්මේ
ඔබගේ අණසක එලෙසින්     අම්මේ
පැතිරේවා නර ලොව එය     අම්මේ


නරයින් දෑත ද උස්සා     අම්මේ
කියනවා ඔබ හට දුක එය     අම්මේ
දුක බලලා පිහිටක් ගෙන     අම්මේ
දෙන්නට අප රැක පත්තිනි     අම්මේ

නවගමුවට මව් තෙද එය     දුන්නේ
මෙම දෙවොලට තෙද මව් එය     දෙන්නේ
ඔබගේ සළඹට ඉන් තෙද     දෙන්නේ
පත්තිනි මවුනි අප රැක     දෙන්නේ


ගත්තයි දෑතට සළඹද     අම්මේ
අරගෙන නරහට සෙත ගෙන     අම්මේ
දුන් බලයද පතුරා බුදු     අම්මේ
නරයන් ගොඩදා නව තෙද     අම්මේ

බලයට අධිපති පත්තිනි මෑණියන්ගේ ආශිර්වාදය නිවසේ සිට ලබා ගත හැකි කවි පද කිහිපයකින් මෙවර ලිපිය අවසන් කරන්නෙමි.

 
අප රට රකිනා එය තෙද     අම්මේ
රජ දරුවන් සියලූම රැක     අම්මේ
දෙන්නට බාරයි පත්තිනි     අම්මේ
සතුරු ද බාධා දුරු කර     අම්මේ

ජනපති ඳුට සෙත ඉන්     සැලසේවා
පත්තිනි මවුනි ඉන්     රැක දේවා
සියලූම බාධා ඉන්     දුරු වේවා
සතර වරම් දෙවි ඉන්     රැක දේවා

ලෙඩ දුක් කරදර ඉන්     දුරු වේවා
පත්තිනි මවුනි ලොව     පැතිරේවා
ඔබගේ තෙද බල ඉන්     ගෙන දේවා
සියලූම නර දරු     රැකලා දේවා

හතුරු විපත් බාධක     දුරු වේවා
රථ වාහන අනතුරු     දුරු වේවා
අප යන එන ගමනද     රැක දේවා
පත්තිනි මවුනි ඔබ පිහිට     ලැබේවා

2 comments:

  1. හොඳ වැඩක් ..ඉදිරයටත් මේ වගේ ලිපි පළ කරන්න

    ReplyDelete
  2. ගොඩක් ස්තුති තව මේවගේ ලිපි ලියන්න. . පුළුවන් නම් සූනියන් දෙවියන්ට ආරාධනා කරන කවි පල කරන්නකො . බුදුසරණයි දෙවිපිහිටයි ඔබට

    ReplyDelete