තථාගත ධර්මය ලොව පහළ වූ දිනය




බුදුබවට පත්ව සත්සති ගෙවා ඇසළ පුර පසළොස්වක් පොහෝ දින බරණැස ඉසිපතනයට වැඩම කොට පස්වග තවුසන් ඉදිරියෙහි හිඳුවාගෙන ප්‍රථම ධර්මදේශනාව නම් වූ, “දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව” පවත්වන ලද සේක

සිද්ධර්ථ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ දොළොස් අසංඛ්‍ය කල්ප ලක්‍ෂයකට පෙර ඒ ඈත කාලයේ ලොව පහළ වූ දීපංකර බුදුරජාණන් වහන්සේගේ භින්න මාතෘක කුමරියක්ව උපත ලැබුවාය. බුදුරදුන්ගේ පියා නිසාම වෙනත් බිසවකගේ කුසින් උපත ලද කුමරියක යන්න එහි අදහසයි.
එදා ඒ කුමරිය අබ හේනක් වපුරුවා, සියතින්ම අබ වගාවට පහසුකම් සලස්වා, ඒ අබ නෙලා කොටා තෙල් සිඳ, ඒ අබතෙල් දීපංකර බුදුරජාණන් වහන්සේගේ අග්‍රශ්‍රාවක නිසභ මහරහතන් වහන්සේට පූජා කොට “ මේ පිනෙන් මටත් මාගේ සහෝදරයන් වහන්සේට සේම, සම්මා සම්බුදු බවට පත්වීමට හැකි වේවා! යි ප්‍රාර්ථනා කළාය. එම ආත්මයේදි මගේ නම අබ හඳුන්වන ලද “ සිද්ධාර්ථ” නාමය ම වේවා! යි ද ප්‍රාර්ථනා කළාය. නිසභ මහරණුවෝ පාත්‍රය පුරා පූජා කරන ලද අබතෙල් පිළිගෙන සන්ධ්‍යා සමයෙහි බුදුරදුන් ප්‍රමුඛ මහරහතන් වහන්සේලාට පූජා කළහ. එහි සිටි දහස් ගණනක් මහා සංඝයා වහන්සේට පූජා කළ ද ඇගේ ප්‍රාර්ථනාවෙහි බලය නිසා දෝ, පාත්‍රයෙහි තෙල් නිමාවක් නොවීය.
මේ පිළිබඳව නිසභ තෙරණුවෝ කරුණු පැහැදිලි කරමින් භාග්‍යවතුන් වහන්ස, මේ අබතෙල් පූජාකරන ලද්දී, ඔබ වහන්සේගේම භින්න මාතෘක නැගණියයි. ඇය අබහේනක් වපුරා එය සරුසාර ලෙස වඩා කපා කොටා තලා සැම අබ ඇටයක්ම ස්වේත වර්ණ බවට පත්කොට මේ පිරිසුදු අබතෙල් සිඳගන්නා ලද බව දැනගතිමි. ඒ අබතෙල් පාත්‍රය පුරවා පූජා කොට මටත් මාගේ බෑයන් වහන්සේට සේම, අනාගතයේදී බුදුවන්නට ලැබේවා! යි ද ඒ ආත්මභාවයේ දී මගේ නම සිද්ධාර්ථ නාමයම වේවා! යි ද ප්‍රාර්ථනා කරන ලද්දී යැයි ද නිසභ තෙරණුවෝ සඟ මැද ප්‍රකාශ කළහ.
ඒ දීපකංර බුදුරජාණන් වහන්සේ වදාරණ සේක්, “ඇවැත්නි, මහණෙනි, මාගේ ඒ සහෝදරියගේ ප්‍රාර්ථනාව එසේම සිදුවන්නේය.
මින් මතු ඇය දිගටම පුරුෂ ආත්ම ලබා අනාගතයේ දී මෙයින් දොළොස් අසංඛ්‍ය කල්ප ලක්‍ෂයක් ඉක්මගිය තැන මගේ නමින්ම බුදුබවට පත්වන දීපංකර බුදුරජාණන් වහන්සේ වෙතින් සුමේධ තාපස නාමයෙන් ඍධිමත් තවුසෙක්ව මතු බුදුවන බවට නියත විවරණ ලබනු ඇත. එය සිදුවන්නේ මෙතැන් සිට සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂයක් ඉක්ම යාමෙන් පසුව යයි ද ඒ ඈත දීපකංර බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළ සේක.
මේ බුද්ධ වචනය මහරහතන් වහන්සේලා වෙතින් දැන ගත් අබතෙල් පූජාව කළ කුමරිය, අනගාරිණී ජීවිතයක් ගත කරමින් මේ ප්‍රාර්ථනාව ඉටුකර ගැනීමට එදා පටන්ම කටයුතු ආරම්භ කරන ලද්දීය. මේ අපේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ මුල්ම අවස්ථාවයි. මෙම කල්පයේදීම නැව් තොටක කම්කරු තරුණයෙක්ව සේවය කරද්දී, මිත්‍ර වෙළඳ පිරිසක් සමග තම මෑණියන් ද කැටුව සුහද ගමනක් යද්දී කුණාටුවකට හසුව නැව් සමූහයම කැඩී බිඳී විනාශ වී ගිය අතරතුරේ දී අතට හසුවූ ලෑලි කෑල්ලක් අල්ලාගෙන තමන්ගේ මෑණියන් කරපිට තබාගෙන පිහිනීමෙන් දින ගණනාවකට පසු නිරාහාරවම ගොඩට පැමිණියේ හ. එදා ඒ මව “ පුතේ ඔබ දරුවෙක් නො කරන ක්‍රියාවක් මා වෙනුවෙන් කරන ලදී. පුතණුවනි,, ඔබට මේ තුළ කුශලකර්ම බලයෙන් බුදුබව ම ලැබේවා! යි ප්‍රාර්ථනා කළාය. මැණියන්ගෙන් ලද මෙම උදාර ප්‍රාර්ථනාව ද පුතණුවන්ගේ සිතෙහි ක්‍රියාත්මක විය. නොබෝ කලෙකින්ම මව අභාවයට ගිය පසු මේ පුතණුවෝ අවිවාහකවම ජීවත්වෙමින් මගේ මෑණියන් මට කළ ප්‍රාර්ථනාවක් ඇත. “ පුතණුවනි, ඔබට බුදුබවම ලැබේවා! යි යන්න එකී ප්‍රාර්ථනාවයි. ඒ පිළිබඳව මා උනන්දු විය යුතු යයි සිතා එදා බුදුසසුනක් නො පැවතියද, දැන උගත් බ්‍රාහ්මණ පඩිවරුන්ගෙන් විමසා ලෝකයෙහි අද්විතීය තත්ත්වය වන බුදුබවට අවශ්‍ය ගුණධර්ම සොය කියාගෙන ඒවා සම්පූර්ණ කිරීමට ආරම්භ කළහ.
අර ඈත කාලීන දීපංකර බුදුරදුන් වදාළ අයුරින් මෙසේ පින්දහම් පුරමින් එද්දී ඊට මෑත කාලයෙහි පහළවුණ දීපංකර බුදුරදුන් හමුව ස්ථීර වශයෙන් ම මේ සුමේධ තවුස් තෙමේ අනාගතයේදී මෙයින් සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් ඉක්ම ගිය තැන ඒකාන්තයෙන්ම සිද්ධාර්ථ ගෞතම නාමයෙන් සම්මා සම්බුදු බවට පත්වන්නේ ය’යි නියත විවරණ ලද සේක. මේ පළමුවන නියත විවරණයයි.
ඒ දීපංකර පාදමූලයේදි ලද නියත විවරණයෙන් මහත්සේ උත්සාහවත් වූ සුමේධ තවුස්තුමා පෙර කී පරිදි සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂයක් පුරා දස පැරුම්දම් සපුරා මෙයින් වසර දෙදහස් හයසිය සිව්තිසකට පෙර වෙසඟ පුර පොහෝ දිනෙක මෙලොව උපත ලද සේක. විසිනව වන වියට පත් බෝසත් සිදුහත් කුමරා සියල්ල අතහැර දමා වනගතව තවුස්දම පුරා වයස තිස් පහේදි සම්මා සම්බුදු බවට පත්වූයේය.
බුදුබවට පත්ව සත්සති ගෙවා ඇසළ පුර පසළොස්වක් පොහෝ දින බරණැස ඉසිපතනයට වැඩම කොට පස්වග තවුසන් ඉදිරියෙහි හිඳුවාගෙන ප්‍රථම ධර්මදේශනාව නම් වූ, “ දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව “ පවත්වන ලද සේක.

“දේවේමේ භික්ඛවෙ අන්තා පබ්බජිතෙන න සේවිතබ්බා, යෝචායං කාමෙසු කාමසුඛල්ලිකානු යෝගෝ හීනෝ ගම්මෝ පෝතුජ්ජනිකො අනරියෝ අනත්ථසංහිතෝ, යෝචායං අත්තකිලමථානුයෝගෝ දුක්ඛෝ අනරියෝ අනත්ථසංහිතෝ , එතේ තේ භික්ඛවේ උභො අන්තේ අනුපගම්ම මජ්ඣිමා පටිපදා තථාගතෙන අභිසම්බුද්ධා ....”



ඇවැත්නි, මහණෙනි! කාමසම්පත්වලින් අන්තයට නො ගොස්, එසේම ශරීරයට දුක් දීමෙන්ද අන්තයට නො ගොස් මධ්‍යම ප්‍රතිපදාවෙහි පිහිටා, දුක්ඛ, සමුදය , නිරෝධ, මග්ග යන චතුරාර්ය සත්‍යයන් අවබෝධ කරගත යුතුය.
දුක, දුක ඇතිවීමට හේතුව, දුකින් මිදීම දුකෙන් මිදීමේ මාර්ගය යන මෙම කරුණු සතර හරිහැටි තේරුම් නො ගැනීම නිසා විවිධ පාප ක්‍රියාවන්හි ගැලෙමින් සත්වයෝ සසර සැරිසරති. එයින් මිදීමේ මාර්ගය මෙසේ දැනගත යුතු යයි දම්සක් පැවතුම් සූත්‍ර දේශනාවෙන් පැහැදිලි කළ සේක. මෙයින් කියැවෙන්නේ ප්‍රශ්නය නිසි පරිදි පළමුවෙන්ම කිඳාබැස තේරුම් ගත යුතු බවය. ඊළඟට ප්‍රශ්නය ඇතිවීමට හේතුව දැනගතයුතුය. ප්‍රශ්නය ප්‍රශ්නය ඇතිවීමට හේතුවත් නිසි පරිදි අවබෝධ කරගත් විට විසඳුම දැනගත හැකිය “ ඉන් අනතුරුව කළ යුත්තේ මේ සංසාරික දුකෙහි නියම විසඳුම නොහොත් නිවන ලබාගැනීමට අනුගමනය කළ යුතු මාර්ගය සොයාගැනීමයි.ආර්ය අෂ්ටාංගික මාර්ගය වශයෙන් පැහැදිලි කොට ඇත්තේ එයයි.
සම්මා දිට්ඨි :– ප්‍රශ්නය පිළිබඳව නිවැරදිව දැකීමයි.
සම්මා සංකප්ප :- නිසි පරිදි නිවැරදිව ඒ ප්‍රශ්නය පිළිබඳව බුද්ධිමත්ව අධ්‍යයනය කිරීමයි.
සම්මාවාචා :– පි‍්‍රයශීලි වචනයන්ගෙන් කතාබස් කිරීමයි.
සම්මා කම්මන්ත :– දැහැමි ලෙස ගොවිතැන් වෙළදාම් කර්මාන්තාදියෙන් ජීවත්වීමය. එනම්, පාපකාරීව ධනය සපයා නො ගෙන ජීවත්වීමය. සම්මා ආජීව ගුණ දහමට ගරුකරමින් දැහැමිව ජීවත්වීමය.
සම්මාවායාම :- යහපත් ව්‍යායාමයයි. එනම් නො කළ නො වැඩූ කුසල් වැඩීම, වැඩූ කුසල් වඩ වඩාත් දියුණු කිරීම, නො කළ අකුසල් නො කර සිටීම කළ කුසල් කිරීම යන කරුණු සතරෙන් සම්පූර්ණත්වයට පත්වීමය.
සම්මා සති :– යහපත් සිහිය, සිහිය යහපත් අයුරින් පිහිටුවා ගැනීම
සම්මා සමාධි :- මේ පුණ්‍ය ක්‍රියාවන් නිසා සිත කුශලයන්ගෙන් සමාධිගතව තබාගැනීමට ක්‍රියා කිරීමයි. සවිස්තරාත්මකව දැක්විය යුතු ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන අපේ ජනතාව බෙහෙවින්ම දනී. එනිසා මේ ඇසළ පුර පසළොස්වක් පොහෝදා බෞද්ධ ලෝකයාට අතිශයින්ම වැදගත් චක්ඛුං උදපාදි - ඤාණං උදපාදි - පඤ්ඤා උදපාදි විජ්ජා උදපාදි , ආලෝකෝ උදපාදි “ යනුවෙන් දම්සක් පැවතුම් සූත්‍ර දේශනාවෙන් පෙන්නා දී ඇති පරිදි ලෝකයට බුද්ධිමය ආලෝකය ලැබුණු දවස වශයෙන් සැලකිය යුතුව තිබේ.
ලොව්තුරා බුදුවරයන් වහන්සේ නමක්ම ලොව පහළවීමෙන් මේ ප්‍රඥාලෝකය මිනිස් වර්ගයාට ලබාදෙති. එවන් අති උතුම් දිනයක් වූ මෙම ඇසළ පුර පසළොස්වක් පොහෝ දිනය ධර්මයට අනුව නිසි අවබෝධයක් ඇතිකර ගෙන තම ජීවිතය සාර්ථක කරගැනීමට සෑම කෙනෙක්ම උත්සාහ ගත යුතුය. මතු භවය සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වන්නේ එවිටය.

උපුටා ගැනීම බුදුසරණ පුවත් පත

No comments:

Post a Comment