එනු ඉදිරියට පුත පැරකුම් දුටුගැමුණු

එනු ඉදිරියට පුත පැරකුම් දුටුගැමුණු

‘මේ සිංහල අපගෙ රටයි…’ මේ ගීතය මුලින් ම ඇසුවේ කවර කාලයක දී දැයි මට නිශ්චිත මතකයක් නැත. ලාබාල වියේ දුවාදරුවන් ඔවුන්ගේ සුරතල් ළමා හඬින් එය ගායනා කරනු ඇසෙන හැම මොහොතක ම මාගේ ළමා වියේ මතකයන් අතර සිත දිව යන්නේ නිරායාසයෙනි. මට සිතෙන්නේ ම ඒ දරුවන්ගේ වැනි වූ ළමා අවධියේ සිටිය දී මා ද බහ තෝරමින් ඒ අයුරින් ම ‘මේ සිංහල අපගෙ රටයි ‐ අප ඉපදෙන මැරෙන රටයි…’ කියා කියන්නට ඇති බව ම ය.
මේ, සිංහල අපගේ රට වූයේ කෙලෙස ද යන්න එකල මම දැන නො සිටියෙමි. ඒ ගැන කිසිවෙකු පැහැදිලි කර දුන් බවක් හෝ අයුරක් මතක නැත. එහෙත් මම අද එය දනිමි. සැබැවින් ම මේ සිංහල අපගේ රට ය. මේ සිංහල බෞද්ධ අපගේ රට ය. මේ ශාක්‍ය වංශයේ අභිමානවත් ආර්ය උරුමය සුරැකි රට ය. මේ ගෞතම බුද්ධ රාජ්‍යය පිහිටි රට ය. ලෝකයේ පවතින එක ම සිංහල බෞද්ධ රටෙහි සිංහල බෞද්ධයෙකු ලෙස ඉපදෙන්නට අප ලද භාග්‍ය අභිමානයෙන් යුතු ව සිහි කැඳවිය යුතු දෙයකි.
විටින් විට සමාජගත වුණ නොයෙකුත් ආන්දෝලනාත්මක සිදුවීම් අතරතුර දී අපට නො සිතුන එක දෙයක් සියුම්ව යළි සිතා බැලිය යුතු කාලය දැන් එළඹ ඇති බව ද මේ සමඟ ම සිහි කැඳවිය යුතු ව තිබේ. සර්වාගමික පණත, ආගමික සහජීවනය බහු සංස්කෘතික  -  බහු ආගමික පැවැත්ම යනාදී විවිධ ජාතික සහ විජාතික සක‍්‍රියවීම් හමුවේ සැබෑ ම අනතුරකට පාත‍්‍රව සිටින්නේ කවුරුන් ද යන්න ඒ සිහි කැඳවීමයි.
රංගිරි  දඹුලූ බෞද්ධ පූජා භූමිය තුළ හොර රහසේ අනවසරයෙන් ඉදි වූ අන්‍යාගමික සිද්ධස්ථානයක් අරබයා පැන නැඟුණ (තවමත් නො විසඳුන) ආන්දෝලනාත්මක සිදුවීම් පෙළට සමගාමීව සමාජයීය හා දේශපාලන වශයෙන් ඉස්මතු වූ සිද්ධි දාමයන්ගේ පටන් ඉතිහාසය දෙස පෙරළා බලන ගමනක් මේ මොහොතේ අත්‍යවශ්‍ය ය. එය දැන් සිදු නො කළ හොත්, තවත් පරම්පරා කිහිපයකින් මෙරන්බිමෙහි උපදින සිංහල – බෞද්ධ දරුවන් හට ‘මේ සිංහල අපගෙ රටයි’ කියා කීමට අවස්ථාවක් ලැබෙනු ඇතැයි සිතීම උගහට ය.
යළි හැරී බලමු.
සිංහල බෞද්ධයාගේ සැබෑ උරුමයන් සොයා දිවෙන මේ මහරු ඓතිහාසික පුනරාවලෝකන යාත‍්‍රාව වසර දෙදහසකිනුත් ඔබ්බෙහි නැංගුරම්ලන්නකි. සිංහල බෞද්ධයාගේ ඒ අභිමානවත්  වංශ කථාව ලියැවෙන්නට පටන් ගන්නේ අඹතල පව් මස්තකයේ රැව් දුන් සදහම් සන්දේශයත් සමඟින් ය.
අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ තුන්ලෝකාග‍්‍ර බුද්ධි වීරයාණන් වහන්සේගේ පරම උත්තරීතර සදහම් දායාදය සිංහල රටට දායාද කර කරමින් මෙහි වැඩම කරවීමෙන් පසු එකල ලක්දිව කිරුළ හෙබවූ දේවානම්පියතිස්ස මහා නිරිඳුන් තිසරණගත පංච ශීලයෙහි පිහිටා සිය පරිවාර ජනකාය ද සමඟ උතුම් ත‍්‍රිවිධ රත්නය සරණ කොට ගත් බුද්ධ ශ‍්‍රාවකයෙකු බවට පත්වීම ඒ අභිමානවත් සිංහල බෞද්ධ වංශයේ ආරම්භය යි.
මේ සිංහල – බෞද්ධ රට පවුරු පදනම් මතන් ගොඩනැගුණේ එතැනින් ය.  මෙරටෙහි සිංහල – බෞද්ධ සංස්කෘතිය ගොඩනැගුණේ එතැනින් ය. එය සත්‍යයකි. රට, දැය, සමය ප‍්‍රබුද්ධ කරලූ සිංහල – බෞද්ධ ශිෂ්ටාචාරය බිහි වූයේ එතැනින් ය. ඒ ඓතිහාසික පූජනීය සංධිස්ථානයෙන් ඉදිරියට ගොඩනැගුණු මහේශාක්‍ය වූ අද්විතීය ශිෂ්ටාචාරය පිළිබඳ අටුවා ටීකා අවැසි නැත. සියක් වැව් බැඳි රටේ නිල් දියවර රැල් නඟන්නේ ද, නුබ ගැබ සිඹිනා සුදෝ සුදු දාගැබ් වහන්සේලා වැඩ සිටින්නේ ද, සඳකඩ පහණ, ලිය වැල්, මුරගල් ආදි සොඳුරු, අග‍්‍රගණ්‍ය නිර්මාණයන් තවමත් විරාජමාන වන්නේ ද ඒ අද්විතීයත්වයට සාක්ෂි දරමිනි. වී පැදුරක් වේලා ගත නො හැකි තරමට ඍද්ධිමත් රහතන් වහන්සේලා අහසින් වැඩම කරවීම නිසා හිරු රැස් පවා වැසී ගිය බව පැවසෙන ඒ උත්තරීතර යුගයේ දී කළුගල් මත අපරිමිත බුදු ගුණයන් කැටයම් කළ ඒ විකුම් පරපුර මෙබිමෙහි පෙරදිග ධාන්‍යාගාරය බිහි කළෝ ය. දෙනෙත් ඇත්තෝ මේ දේවල් දෑසින් දැක බලා, නුවණින් විමසා, සිංහල බෞද්ධ සුජාත උරුමය ගැන යම් සැකයක් ඇත්නම් ඒ සැක, බිය සියල්ලක් ම දුරු කර ගනිත්වා!
ඒ ඉතිහාසය ම අපට කියා දෙන පරිද්දෙන් අප රට කෙරෙහි සැබෑ ම වූ හිතවත්කමින් ක‍්‍රියා කළ එක ම අසල්වාසී නායකයා වූයේ ගෞතම බුද්ධ ශ‍්‍රාවකයෙකු වූ ධර්මාශෝක අධිරාජ්‍යයා යි. ඉන් පසු ව භාරතය අප දෙසට හැරුණේ ම පහර දෙන්නට ය. ඒ සිංහල බෞද්ධ උරුමය හා පදනම විනාශ කිරීමට ය. එළාර සිදුකළේ එය යි. කාලිංග මාඝ සිදුකළේ එය යි. අනතුරුව පැමිණි සියල්ලෝ ම සිදුකළේ එය යි. ඉන්දියාවෙන් පණ ලබමින්, යුරෝපයෙන් පෝෂණය ලද වේළුපිල්ලේ පිරභාහරන් සිදුකළේ ද එය යි. මුල අමතක ගාන්ධිලා ද, කොන්ද පණ නැති සිංලා ද, අවස්ථාවාදී කුහක තමිල්නාඩුව ද සිදුකළේ එය ම යි. අවසානයේ සිදු වූයේ භාරතය පුරා පැතිර ගත් විවිධ මතිමතාන්තර අපේ රටට රිංගා ගැනීමත්, අප සතු වූ සුපිරිසිදු සිංහල බෞද්ධ උරුමය හරසුන් විවිධ දෘෂ්ඨීන්ගෙන් කැළැල් වීමත් ය. ඉන් ඔබ්බට ගිය ඔවුන් විසින් සිදුකරන ලද භෞතික හානිය මෙතෙක් යැයි මිනිය හැකි නොවේ.
පෘතුගීසීන්, ලන්දේසීන් හෝ ඉංග‍්‍රිසීන් ද අපේ රටේ දුර්වලතා මඟ හරවා, රට සුඛිත මුදිත කරවීමේ අරමුණින් අප ව ආක‍්‍රමණය කළේ නැත. ඒ සියල්ලෝ දත කෑවේ ශ‍්‍රී ලංකාව තුළ පෘතුගාල,  ඕලන්ද හෝ  බි‍්‍රතාන්‍ය වහල් මානසිකත්වයක් ගොඩනගන්නට ය. බහු සංස්කෘතික, බහු ආගමික, බහු වාර්ගික රටක් තනන්නට ය. සිංහල බෞද්ධ පදනම විනාශ කරන්නට ය.
මේ රට බහු ආගම් පවතින රටකි; බහු ජනයා වෙසෙන රටකි; උප සංස්කෘතින් බොහෝමයක් ඇති රටකි. එහෙත් එහි අර්ථය වන්නේ මේ රට සර්වආගමික බහු සංස්කෘතික රටක් ය යන්න නො වේ.  බහු ආගම් හා බහු සංස්කෘතීන් ද රටෙහි ඇති වූයේ විදේශ ආක‍්‍රමණ නිසා ය. අප බිම එනම් ශ‍්‍රී ලංකාව රාජ්‍යයක් ලෙස ජන්ම ලාභය ලැබූවේ ම බහුවිධ මුහුණුවරක් නො මැති හුදෙක් සිංහල – බෞද්ධ ආකාරයෙනි. අපි පළමුව කියා සිටියේ ඒ උරුමය අප සතු වුණු ආකාරය යි.
කට වට කර බඳින වැට
මේ යුගයේ සිංහල බෞද්ධ සුපිරිසිදු උරුමය ගැන කථා කිරීම සැලකෙන්නේ ජාතිවාදය හෝ අන්තවාදීකම ලෙස ය. අනෙකුත් සුළු ජාතීන් තම තමන් ගැන කථා කිරීම වත්මන් ලෝකයට අනුව මානව හිමිකමකි. ඔවුනගේ අයිතියකි.  එහෙත් බහුතර ජන කොට්ඨාසය වූ සිංහල බෞද්ධයන් තමන් ගැන කථා කිරීම ලෝකය හමුවේ පවතින අන්තවාදීකමකි. තමාගෙන් පැහැරගන්නා උරුමය වෙනුවෙන් හඬනැගීම, අයිතිය වෙනුවෙන් කථා කිරීම, සිදුවන අසාධාරණය පෙන්වාදීම සිංහල බෞද්ධයාට තහනම් වේ. සමස්ත ලෝකය මේ විරෝධය දක්වන්නේ සිංහල බෞද්ධකමට නො වේ ද ?
එකී සිංහල බෞද්ධ ප‍්‍රතිරෝධය තුළ, පිරිසිදු බෞද්ධ උරුමය අනතුරට පාත‍්‍ර කරමින් නොයෙක් බලවේග උත්සාහ කරන්නේ මේ රටෙහි මහ සංස්කෘතිය යනු සියලූ ජාතීන්ගේ හා සියලූ ආගම්හි එක ම නියෝජනය බව පෙන්වා දිය හැකි සමාජ  සංස්කෘතික අච්චාරුවක් හදන්නට ය. එහෙත් ලොව ප‍්‍රබල රටවල් ප‍්‍රසිද්ධියේ කියා සිටින්නේ බහු සංස්කෘතික ව්‍යූහය තම රටවල එකහෙළා අසාර්ථක වූ බවයි. එංගලන්තයේ, ප‍්‍රංශයේ සහ ජර්මනියේ දේශපාලන බලවතුන් මෑතක දී කියා සිටියේ බහුතර ජනතා නියෝජනයට අනුගත වනු හැර අන්තර් සංස්කෘතික සහජීවනයක් කෘත‍්‍රිම ලෙසින් ගොඩනැගීම කළ හැකි මඟක් නැති බව ය. වසර ගණනාවක් තම රටේ වැසියන් භාෂා ද්විත්වයක් හොඳින් හසුරවනු දකින්නට කැනඩාව දැරූ ප‍්‍රයත්නයක් ද ගඟට කැපූ ඉනි වගට පත් වූ බව පෙනී යන්නේ තවමත් එරට 80% ජනයා භාවිත කරන්නේ මවුබස පමණක් ම වීම නිසා ය. එහෙත් ඔවුනට අවශ්‍යය අපගේ රට තුළ බහු සංස්කෘතියක් ඇති රටක් කරන්නට ය. ඔවුනට කළ නො හැකි වූ දෙය අපට කළ හැකි ද? අප ඔවුන් කියන පරිදි ම කළ යුතු ද?
අමුතු බත් දීම
මේ පුංචි දිවයින ගැන ඔවුන්ට ඇත්තේ මහත් කැක්කුමකි. එකක් පසු පස එකක් ලෙස විවිධ මති මතාන්තර අපට හඳුන්වා දෙමින්, අපේ රට ඔවුන්ගේ සියලූ කුණුකන්දල් අත්හදා බැලීමේ මධ්‍යස්ථානයක් කරන්නට යත්න දරන්නේ ඒ අමුතු කැක්කුමෙනි. අත ඇල්ලූමෙන් දැනෙන මේ අමුතු බත් දීම ඉදිරියේ ද සිංහල බෞද්ධ ජනයා දුර්මුඛ ව සිටීම ප‍්‍රශ්නයකි. සැබැවින් ම දෙබිඩි පිළිවෙත් දරණ පාලනතන්ත‍්‍රය විසින් ජනතාව දුර්මුඛ කොට ඇත.
එදා ඉන්දියාවේ දී සියලූ බුදුවරුන්ගේ වජිරාසන බුද්ධ භූමිය අන්‍යාගමිකයන්ගෙන් බේරා ගැනීමට හෙළ බොදුනුවෙකු වූ අනගාරික ධර්මපාලතුමන් දිවි හිමියෙන් කැපවූ ආකාරය පසුගිය මහාමේඝ කලාපයන් ඔස්සේ අපි කියවූවෙමු.  ඒ වීරෝදාර සිංහල – බෞද්ධ මිනිසාට පුණ්‍යානුමෝදනා වන්නට, බුද්ධ වීරයාණන් වහන්සේ නිසාවෙන් පාරිශුද්ධත්වයට පත්  බුද්ධ භූමීන් දැනුදු බෞද්ධයන්ගේ වන්දනාමානයන්ට විවෘත ය. ධර්මපාලතුමන් ඒ විප්ලවීය සංග‍්‍රාමය සිදු කළේ නො රටක දී ය. ඒ සිංහල – බෞද්ධ මිනිසා  සතු වූයේ ඒ සා සුවිශේෂී වූ, සුවිසල් වූ, උදාරතර ධෛර්ය සම්පන්න බවකි. එවන් උත්තම පුරුෂයින් අකාලයේ ලක්මවට අහිමි විය.
අද අපේ ගෙමිදුලට ම පැමිණ, අපේ උරුමය පැහැර ගෙන, හෙළ බොදු සුජාත පුත‍්‍ර භාවය අනාගත පරපුරුවලට අහෝසි කරවන්නට දරන මේ කූට ප‍්‍රයත්නයන්ට එරෙහි ව සිංහල බෞද්ධයන් නැගී නො සිටින්නේ ඇයි? අප මේ කියන්නේ දඬු මුගුරු අත දරන්නට කියා නො වේ; මංමාවත් දිග විරෝධතා පුවරු රැගෙන උද්ඝෝෂණය කරන්නට කියා නො වේ; දේශපාලන වේදිකා මත සිංහල – බෞද්ධ බව පිළිබඳ ප‍්‍රදර්ශන විප්ලව සිදු කරන්නට කියා ද නො වේ. එවැනි අර්ථ විරහිත, හීන කි‍්‍රයාදාමයන්ට අවතීර්ණ වීමේ උවමනාවක් හෝ බුද්ධි හීන භාවයක් අපට නැත. එය බුද්ධ භාෂිතය ද නොවේ.
මේ සියලූ ආක‍්‍රමණකාරී බලවේග ඉදිරිපිට අප දුර්වල වන්නේ සිංහල- බෞද්ධ ජනයා ධර්මයෙන් බැහැරව සිටින නිසාවෙනි. ධර්මයේ පිළිසරණ සිංහල බෞද්ධයින් බහුතරයකට ම අහිමි වී ඇති නිසාවෙනි. උතුම් තිසරණය සුරක්‍ෂිත කර ගැනීමට සිංහල බෞද්ධ ජනයා සමත් වූයේ නම් කවර බලවේගයක් හමුවේ වුව ද දණ නමන්නට හෝ මඬේ සිට වූ ඉනි මෙන් වැනෙන්නට හෝ සිදුවන්නේ නැත.
සිංහල බෞද්ධයා, පවත්නා පරාධීන, නින්දිත, වහල්, නිද්‍රාගත සමාජ ව්‍යුහයන්ගෙන් බැහැරව අභිමානයෙන් පිබිදිය යුතු ම ය. මෙලොව සේ ම පරලොව ද සුවපත් වනු කැමැත්තෝ කළ යුතු ව ඇත්තේ උතුම් තිසරණය සුරක්‍ෂිත කර ගැනීමයි. එය සිදු කිරීමට හැකි නම් දියෙන් කිරි වෙන් කර ගන්නා ස්වර්ණ හංස රාජයන් මෙන් අයහපතෙන් යහපතත්, නොමෙඟන් සුමඟත් වෙන් කොට ගැනීම අපහසු වන්නේ නැත. අප සැබෑ සිංහල බෞද්ධයන් බව විශ්වාසයෙන් කියන්නට හැකි අන්දමේ අභිමානවත් ජීවිතයක් අප තුළත් ගොඩනංවා ගත යුතු ය.
පිරිහුණ ලොව මහා ලැජ්ජාව
එහෙත් අද සිදුව ඇත්තේ කුමක් ද? මේ රටේ ඇතමුන්ට තමන් මත්පැන් ලෝලියෙක් බව හඬගා කියන්නට බය නැත. හොරෙක්, මංකොල්ලකරුවෙක්, මිනීමරුවෙක් කියන්නට ලැජ්ජා බය නැත. නරක දේවල් කරන්නට හෝ ඒ ගැන කියාපාන්නට ද ලැජ්ජා බය නැත. එහෙත් තමන් සිංහල බෞද්ධයෙකු යැයි කියන්නට ලැජ්ජාව ඇත. බය ද ඇත. අද අප මුහුණ පා සිටින සමාජ ව්‍යවසනයේ හා සංස්කෘතික පරිහානියේ තරම මෙයින් මොනවාට ප‍්‍රත්‍යක්‍ෂ වේ.
ලැජ්ජා විය යුත්තේ, බිය විය යුත්තේ තමන් සිංහල බෞද්ධයෙකු බව කියා පාන්නට නම් නො වේ. තමන්ට උතුම් තිසරණය සුරක්‍ෂිත කර ගැනීමට බැරි වූ බව කියන්නට ය.  යහ මඟ පෙන්වා දෙන, සත්පුරුෂ කල්‍යාණ මිත‍්‍රයන් මුණ ගැසෙන සුපින්බර යුගයක දී පවා ඒ උතුම් තිසරණයේ සැබෑ පිළිසරණ ලබන්නට ඇති අවස්ථාව ද අහිමි කරගෙන සිටින බව කියන්නට ය.
මේ රට බහු ආගමික රටක් වූ පමණින් අප ජරාවට, ව්‍යාධියට, මරණයට පත් නො වී සිටින්නේ නැත. බහු සංස්කෘතියකට අනුගත වූ පමණින් රටේ සියලූ ප‍්‍රශ්න නිරාකරණය වන්නේ ද නැත. එසේ ම බලවත් ජාතීන් විසින් ම තහවුරු කළ පරිදි එවැනි බහු විධ සමාජ යාන්ත‍්‍රණයක් මේතාක් සාර්ථක වී නැත. චිරාත්කාලීන වූ එක ම පිළිසරණ අප සතුව තිබියදීත් කුමට නම් අප අන්‍යයන්ගේ අසාර්ථක අත්හදා බැලීම්වල ගොදුරු ගත පිරිසක් විය යුතු ද? ඔවුනගේ අත පෙවීම් අපට ඔප්පු කර පෙන්වන්නේ අප සිටින්නේ අප ගැන ම අවිශ්වාස සහගත අවිනිශ්චිත බවක යන්න නො වේ ද?
ඛේදජනක සත්‍යය වන්නේ එය යි. අපේ මිනිසුන්ට අපේ සිංහල – බෞද්ධ උරුමය ගැන විශ්වාසයක් නැත. විශ්වාසයක් නැති තැන අනුගමනය හෝ පිළිපැදීම කෙසේවත් සිදු කෙරෙන්නේ නැත. ඒ අවිශ්වාසය නිසාවෙන් ම මෙයයි එක ම සරණ කියා පැමිණෙන කවර මිථ්‍යාදෘෂ්ටියක් වුව එක් වරම ජීවිතයට බද්ධ කර ගැනීමට ඔවුහු පෙලඹෙති. අපට සරණ වන්නේ කේන්දර, ග‍්‍රහයන් හෝ අන් රටවල් යනා දී වශයෙන් වැල යන අතට මැස්ස ගසන්නේ එනිසා නො වේ ද? මේ අවිශ්වාස සහගත දෙගිඩියාවේ තරම පැහැදිලි වන්නේ එක් මතයක් තරයේ ග‍්‍රහණය කර ගෙන සිටිය දී අසන්නට ලැබෙන අලූත් දෙයක් නිසා පැරණි මතය ඉවතලා අලූත් මතය සමඟ දැඩි ව බැඳී යන්නට බහුතරය පෙලඹෙන නිසාවෙනි.
අකාලික වූ පිළිසරණක්, කාලයෙන් කාලයට වෙනස් වන සමාජ රැළි තුළින් කවරෙකුටවත් බලාපොරොත්තු විය නො හැකි ය. අකාලික පිළිසරණක් ලබා ගත හැක්කේ අකාලික දහමක් තුළින් පමණ ය. අතීතයේ වේවා, වර්තමානයේ වේවා, අනාගතයේ වේවා අකාලික වූ යම් දහමක් වේ නම් ඒ සම්මා සම්බුදුවරයෙකුගේ   දහම පමණක් ම ය. අප ලද සිංහල – බෞද්ධ උරුමය තුළ පවත්නේ අති උත්කෘෂ්ට, පාරිශුද්ධ සම්බුදු දායාදය යි.
කොතැනක ද දියසෙන් ?
ඒ සම්බුදු දායාදයේ පිළිසරණ සොයන්නට පළමු අපට විවිධ මතිමතාන්තර අලෙවි කරන අලෙවිකරුවන්ගෙන් රට, ජාතිය බේරා දෙන දියසෙන් කුමරෙකු බිහිවන තුරු දවල් හීන දකින්නට කාලයක් තවත් නම් නැත. එළඹ ඇත්තේ ඉපදෙන්නට සිටින දියසේනලා තිඹිරි ගෙය තුළ ම මරා දමන ශාපලත් යුගයකි. රට, ජාතිය සුරකින දියසෙන් කෙනෙකු කෙලෙස නම් බිහි වන්න ද?
රට, ජාතිය රැක ගැනීම කළ යුත්තේ රට, ජාතියට හිමි ප‍්‍රාණයත්, ප‍්‍රාණ වායුවත් සුරක්ෂිත ව තැබීමෙනි. සිංහල – බෞද්ධ මේ බිමෙහි ප‍්‍රාණය නම් බුද්ධ ශාසනය යි. ප‍්‍රාණ වායුව නම් අකාලික මුනි දහම වූ උතුම් ශ‍්‍රී සද්ධර්මය යි.
අද මොකද වෙන්නේ? හෙට මොකද වෙන්නේ? කියමින්, මායාවරුන්ගේ ඉපැරණි දින දර්ශන දෙසත්, පෘථිවිය කරා පැමිණෙනවා යැයි පැවසෙන විශාල ග‍්‍රහකයන් දෙසත්, මහා සුනාමියක් ඇති කළ හැකි අන්දමේ පෘථිවි භූ ස්ථර ලිස්සා යෑම් දෙසත් අවධානය යොමු කරන කාලය පුරාවට අපට නො දැනීම, අපට නො පෙනීම අප උපන් දේශයෙන් ගිලිහී යන්නේ එහි ප‍්‍රාණයත්, ප‍්‍රාණ වායුවත් ය.
ධර්ම මාර්ගයෙන් බැහැර වීම නිසාවෙන් ඇති වුණ මේ විනාශකාරී ඇද වැටීම අපට ඉතිරි කර ඇත්තේ මහා සමාජ පරිහානියක් පමණි. සංස්කෘතික සෝදාපාළුවක් පමණි. රාග, ද්වේෂ, මෝහ නසාලූ ලොව අනුත්තරීය මනුෂ්‍යරත්නය සරණ යන්නට භාග්‍යය ලද මේ පින් බිමේ අද බහුල කොට මුණ ගැසෙන්නේ රාග, ද්වේෂ, මෝහ අවුළුවාලන සංකර වටාපිටාවක් ම නො වේ ද?  හාත්පස බුර බුරා නැගෙන කෙලෙස් ගිනි මැද්දෙන් ජය ටැඹ කරා එළඹෙන අවසන් නෞකාවට ගොඩ වී ජීවිතය සුරක්‍ෂිත කෙම්බිමක් කරා රැගෙන යා යුතු ම ය. දෙගිඩියාවෙන් යළිත් සිතමින් අසුරු සැණක් හෝ ප‍්‍රමාද විය හැකි කාලයක් ඔබට, මට ඉතිරිව නැත.  මේ අප‍්‍රමාදී විය යුතු ම වෙලාව යි.
සැබෑ ශ‍්‍රාවකයන් වෙමු.
මළ පෙරේතයන් පිනුම් ගසන්නේ දෙවියන් පය නො ගැසූ අඩවියේ ය. සිය රටින් වේවා, නො රටින් වේවා ගෙන හැර දක්වන වචන හරඹ සහ සන්දර්ශන හමුවේ යළි යළිත් සිහිපත් කර ගත යුත්තේ මේ කථාව ම ය.  දෙව් බඹුන්ගේ ද, මිනිසුන්ගේ ද එක ම ශාස්තෘ වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ නිර්මල ධර්ම දායාදය සුරැුකිව පවත්නා මේ රටෙහි අවස්ථාවදී පෙරේතයන්ට පිනුම් ගසන්නට ඉඩ හසර සලසාලන්නට තරම් අප ප‍්‍රමාද විය යුතු නැත. ධර්මයේ පිළිසරණ අපට අහිමි වූයේ අප ධර්ම මාර්ගයෙන්  බැහැර වූ නිසා බව ද තරයේ සිහි තබා ගත යුතු ය.
එක ම සරණ වන්නේ ඒ උතුම් තිසරණය ම ය. ජීවිතය ඉදිරියෙන් මුණ ගැසෙන මරණය ඇති බව නිසැක ය. ජීවිතය ජාති, ජරා, ව්‍යාධි මරණයන්ට ගොදුරු වීම වළක්වාලන මඟ වෙනුවට අප තෝරාගෙන සිටින්නේ අන් මඟක් නම් ඇසි පිය හෙලන සැණකින් මරණය ම උරුම විය හැකි ඛේදනීය ඉරණමක සිටින අප දුගතිගාමී වීමේ අනතුරෙන් නිදහස් වී නැති බව නිසැක ය.
අනතුරෙන් අත් මිදීම සඳහා තැබෙන පළමු පියවර වන්නේ උතුම් තිසරණය සුරක්‍ෂිත කර ගැනීම ය. ගුණ වශයෙන් හඳුනා ගනිමින් අවබෝධයෙන් යුතු ව ත‍්‍රිවිධ රත්නය සරණ යාම ය. වැඩිහිටි සහ තරුණ පරම්පරාවන් තම බාල පරම්පරාවට ලබා දිය යුතු මහානීය දායාදය එය ම ය. අවබෝධයෙන් තිසරණ සරණ පිහිටීම බොහෝ කාලයක් සියල්ලන්ගේ සිත සුව පිණිස පවතින්නේ ය. මේ එළඹ ඇත්තේ ලෝකය යන අත හෝ රට යන අත බලා සිටිනු වෙනුවට තම තමා යන අත තීරණය කළ යුතු කාලය යි.  සියලූ සම්මා සම්බුදුවරුනගේ අප‍්‍රමාණ වර්ණනාවට පාත‍්‍ර වූ අප‍්‍රමාදී වීම තුළ දී පමණක් අප ගමන් ගන්නා අත යහපත් වන බව නිසැක ය.
අප සරණ යන්නට යෙදුණ භාග්‍යවත්, අරහත් ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අනුත්තරීය ධර්ම චක‍්‍රය දෙවි මිනිස් ලෝකයාගේ හිතසුව පිණිස යළිත් මැනවින් ප‍්‍රවර්තනය වන අසිරිමත් යුගයකි මේ.  මහමෙව්නාව පුණ්‍ය තීර්ථය ඔබ අප වෙත ගෙන එන්නේ ඒ අනුත්තරීය සම්බුද්ධ සාම සන්දේශයයි. ඒ හෙළ බොදු රටේත්, සිංහල ජාතියේත් හෙට දවසේ සුරක්‍ෂිතභාවය වෙනුවෙනි. ඒ උතුම් දායාදයේ මහඟු ඵල ලබමින් සියල්ලෝ සම්බුදු සසුන තුළ අප‍්‍රමාදී වෙත්වා!
සිංහල – බෞද්ධ උරුමය සුරකින අභිමානවත් සැදැහැති පිරිසක් බිහි වේවා!

උපුටා ගැනීම මහාමේඝ පුවත්පත ඇසුරිනි.

1 comment:

  1. ඉතා වැදගත් ලිපියක්...
    බොහෝ පින් මෙය පළ කළාට...
    නමුත් දුටුගැමුණු යන නම අප භාවිතයෙන් අත් හළ යුතුයි...

    මේ ලිපිය ටිකක් කියවා බලන්න : http://welusumana.blogspot.com.au/2012/08/blog-post.html

    ReplyDelete