මහාවංශය 1
1. ඉතා පිරිසිදු වූ ඔක්කාක රාජවංශයෙහි
ජන්මලාභය ලද පරම පාරිශුද්ධත්වයට පත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට වන්දනා
කොට කිසි අඩුවක් නැති නොයෙක් පරිච්ජේදයෙන් යුතු මහාවංශය ඔබට පවසමි.
2. අපගේ පැරණි මුතුන්මිත්තන් විසින් කරන
ලද්දේ නමුත් මෙම වංශකථාව කිසි තැනෙක්හි අධික විස්තරයෙන් යුක්තය. තව
තැනෙක්හි අධික සංක්ෂේපයෙන් යුක්තය. එමෙන්ම නොයෙක් පුනරුක්ත දොස් ද ඇත.
3. එම දොස් වලින් බැහැර කොට සුවසේ ග‍්‍රහණධාරණය කරගත හැකි ලෙස ප‍්‍රසාද සංවේගය උපදවන මෙම පරම්පරානුයාත මහාවංශය පවසමි.
4. එහිලා ප‍්‍රසාදය උපදවන තන්හි ද, සංවේගය උපදවන තන්හි ද, ප‍්‍රසාදයත් සංවේගයත් ජනනය කරගනිමින් සුදනෙනි, මෙය අසව්!
5. අපගේ මහා වීරිය ඇති සර්වඥයන් වහන්සේ පෙර දීපංකර බුදුරජාණන් වහන්සේ දැක ලෝක සත්වයාගේ දුකින් මුදවනු පිණිස සම්මා සම්බෝධිය පැතූ සේක.
6. එතැන් පටන් එම සම්බුදුරජුන් ද කොණ්ඩඤ්ඤ, මංගල, සුමන, රේවත, සෝභිත යන සම්මා සම්බුදුරජාණන් වහන්සේලා ද,
7. අනෝමදස්සී, පදුම, නාරද, පදුමුත්තර, සුමේධ, යන සම්මා සම්බුදුරජාණන් වහන්සේලා ද,
8. සුජාත, පියදස්සී, අත්ථදස්සී, ධම්මදස්සී, සිද්ධත්ථ, තිස්ස, ඵුස්ස යන සම්මා සම්බුදුරජාණන් වහන්සේලා ද,
9. විපස්සී, සිඛී, වෙස්සභූ, කකුසඳ, කෝණාගමණ යන සම්මා සම්බුදුරජාණන් වහන්සේලා ද,
10. කාශ්‍යප සම්මා සම්බුදුරජාණන් වහන්සේ ද
යන සූවිසි සම්මා සම්බුදුරජාණන් වහන්සේලා සතුටු කොට උන්වහන්සේලාගෙන්
ලබාගන්නා ලද මෙම නියත විවරණ ඇත්තේය.
11. ‘සියලූ පාරමී ධර්මයන් පූරණය කොට උත්තම
සම්මාසම්බෝධියට පැමිණෙන මෙතෙමේ ගෞතම බුද්ධ නමින් යුතුව සත්වයන් සසර දුකින්
මුදවන්නේය’ යන නියත විවරණය ලද්දේය.
12. ඒ අප මහා මුනිඳාණෝ මගධ දේශයෙහි උරුවෙල් ජනපදයෙහි බෝ රුක් සෙවණෙහිදී වෙසක් පුන් පොහෝ දිනයෙහිදී උතුම් සම්බෝධියට පත් වූ සේක.
13. ඒ සර්වඥයන් වහන්සේ උතුම් අමා නිවන් විමුක්ති සැප විඳිමින් එහි මධුරත්වය මෙනෙහි කරමින් සත් සතියක් පුරාවට වැඩ සිටි සේක.
14. බෝ මැඬින් නික්ම බරණැසට වැඩම කොට
උතුම් දම්සක් පැවතුම් සූත‍්‍ර දේශනාව පැවැත්වූ සේක. එහිදීම වස් කාලය ගත කරන
සේක් භික්ෂූන් හැට නමක් අරහත්වයෙහිලා හික්මවූ සේක.
15. ඒ භික්ෂූන් වහන්සේලා ධර්ම දේශනාව
පිණිස පිටත් කොට යවා ඉක්බිති යහළුවන් වූ භද්දවර්ගීය කුමාරවරුන් තිස් දෙනා ද
උතුම් නිවන් මගෙහි හික්මවා
16. උරුවේල කාශ්‍යප ආදී දහසක් ජටිලයන් දමනය කරනු පිණිස ඔවුන්ගේ ඉන්ද්‍රිය ධර්මයන් මුහුකුරුවමින් උරුවෙල් ජනපදයෙහි වැඩසිටි සේක.
17. උරුවේල කාශ්‍යප ජටිලයාගේ මහා යාගයක්
එළැඹුණු කල්හී ඔහු විසින් සිතන ලද අදහස් දැනගත් අප භාග්‍යවතුන් වහන්සේ එදින
එම යාගය සඳහා නොවැඩ,
18. උතුරුකුරු දිවයිනෙහි පිඬුසිඟා වැඩමකළ
කෙලෙස් සතුරන් මඬින අප භාග්‍යවතුන් වහන්සේ අනවතප්ත විල් තෙර අසබඩ දන් වළඳා
එදින සවස් යාමයෙහි,
19. සම්බුද්ධත්වයෙන් නව වෙනි මාසයෙහි
දුරුතු පුන් පොහෝදා අනාගත බුදු සසුන පිහිටුවීම පිණිස ශ‍්‍රී ලංකාද්වීපය
පිරිසිදු කරනු වස් ලක්දිවට වැඩම කොට වදාළෝ.
20. ලක්දිව වනාහී ගෞතම බුදු සසුන බබලන ද්වීපය බව දැන වදාළ අප මුනිඳාණන් වහන්සේ ලංකායෙහි පිරී සිටින යකුන් බැහැර කළ යුතු බව දුටු සේක.
21. ඒ ලංකාද්වීපය මැද මහවැලි ගංතෙර පිහිටි තුන් යොදුනක් දික් ඇති එක් යොදුනක් පළල වූ රම්‍ය වූ ප‍්‍රසිද්ධ වූ,
22. මහානාග වනෝද්‍යානය නම් වූ යක්ෂයින්ගේ සංග‍්‍රාම භූමියෙහි ලංකාද්වීපවාසී යක්ෂයින්ගේ මහා යක්ෂ සමාගමක් විය.
23. ඒ මහා යක්ෂ සමාගම පැවති දින සුගතයන් වහන්සේ එතැනට වැඩම කොට ඔවුන්ගේ සිරසට ඉහළින් එම සංග‍්‍රාම භූමිය මධ්‍යයෙහි වැඩසිට,
24. අද මහියංගණ ස්ථූපය පිහිටි තැන අහසෙහි වැඩසිටි සේක් මහා වර්ෂාවක් ද, අන්ධකාරයක් ද මවමින් ඔවුන් හට සංවේගය ඇති කළ සේක.
25. එකල්හි භයට පත් යක්ෂයෝ නිර්භය වූ
සර්වඥයන් වහන්සේ දැක බියෙන් සැළෙමින් පැමිණ තමන්හට අභය දානය දෙන ලෙස ඉල්ලා
සිටියහ. කුළුණු මෙත් ගුණින් අභය දානය දෙන භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළහ.
26. ‘එම්බා යකුනි, තොපගේ බියත් දුකත් මම පහකර දෙමි. තෙපි සමඟි සම්පන්නව මා හට මෙහි හිඳින්නට තැනක් දෙන නොදෙන බව පවසව්.’
27. එවිට යක්ෂයෝ ‘නිදුකාණෙනි, තොපට මෙම සියලූ සකලද්වීපයම දෙමි. අප හට අභය දානය දුන මැනැවැ’යි සුගතයන් වහන්සේට පැවසූහ.
28. ඔවුන් හට පැමිණ තිබූ භයත්, ශීතලත්, අන්ධකාරයත්, නැසූ සර්වඥයන් වහන්සේ ඔවුන් විසින් දෙන ලද භූමියෙහි පත්කඩය අතුරා එහි වැඩහිඳ
29. එම පත්කඩය හාත්පසින් ගිනිගෙන දැවෙන
ගිනිදැල් පතුරුවාලූහ. එම ගිනිදැල් වලින් හටගත් ග‍්‍රීස්මයෙන් හා භීතියෙන්
පෙලෙමින් සිටි ඒ යකුන් මුහුදු වෙරළ තෙක් ගොස් සිටි කල්හි,
30. ලෝකනාථයන් වහන්සේ ඔවුන්ගේ වාසය පිණිස
රම්‍ය වූ ගිරි දිවයින මෙහි ළඟා කළ සේක. ඒ යකුන් එම ගිරි දිවයිනට පිවිසි
කල්හී එය තිබූ තැනින් තැබූ සේක.
31. ලෝකනාථයන් වහන්සේ පත්කඩය හැකිලූ සේක. එකල්හී දෙවියෝ එහි මුළුදුන්හ. එම දේවසමාගම උදෙසා ශාස්තෘන් වහන්සේ ධර්ම දේශනා කළ සේක.
32. නොයෙක් කෝටි ගණන් දෙව්බඹ පිරිස් හට ධර්මාභිසමය වී. ගණන නොකළ හැකි ඔවුහු තිසරණ සහිත සිල්හි පිහිටියහ.
33. සමන්තකූට පර්වතවාසී මහා සුමන දේවේන්ද්‍ර තෙමේ සෝවාන් ඵලයට පත්ව වැඳ පුදා ගන්නට පූජ්‍ය වස්තුවක් ඉල්ලා සිටියේය.
34. එකල්හී සර්වඥයන් වහන්සේ බුදු සිරස පිරිමැද අති නිර්මල වූ නිල් වන් කේශධාතු මිටක් පමණ වූ රොදක් ශ‍්‍රී හස්තයෙන් ගෙන දුන් සේක.
35. මහා සුමන දෙව්රජ තෙමේ ඒ කේශ ධාතූන්
වහන්සේලා රනින් කරන ලද උතුම් කරඬුවකින් ගෙන ශාස්තෘන් වහන්සේ වැඩහුන් තැන
අනේක මාණික්‍යරත්නයන් එක්කොට
36. සත් රියන් උස් වූ එක් විසි රියන් වට
ඇති ස්ථූපයක් කොට එම කරඬුව එහි තැන්පත් කොට ඉන්ද්‍රනීල මාණික්‍යයෙන් කළ
සෑයෙන් වසා වැඳුම් පිදුම් කළේය.
37. සම්බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑ
කල්හි සරභූ නම් රහත් තෙරුන් වහන්සේ නමක් ඉර්ධිබලයෙන් එම ගිනි ඇවිලෙන
චිතකයෙන් භාග්‍යවතුන් වහන්සේගේ ග‍්‍රීවා ධාතුව රැගෙන
38. ඒ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ
ශිෂ්‍යයන් වහන්සේ එම ග‍්‍රීවා ධාතුව මෙහි ගෙනවුත් එම මියුගුණු සෑයෙහිම
තැන්පත් කොට භික්ෂූන් වහන්සේලා පිරිවරාගෙන
39. එම සෑය වසා මේදවර්ණ ගලින් වසා දොළොස් රියනක් උසට සෑය නැංවූ ඒ මහා ඉර්ධිමතුන් වහන්සේ යළි දඹදිව වැඩම කළෝ.
40. දේවානම්පියතිස්ස රජුගේ සොහොයුරු උද්ධචූළාභය කුමරු මෙම අසිරිමත් වූ චෛත්‍යරාජයා දැක,
41. එම මියුගුණු සෑය වසා තිස් රියනක් උසට කැරවූයේය. දෙමළ බලය මඬිමින් සිටි දුටුගැමුණු රජතෙමේ එම චෛත්‍යස්ථානයෙහි සිටියේ,
42. එම මියුගුණු සෑය අසූ රියනක් උසට කැරවූයේය. මේ අයුරින් මහියංගණ චෛත්‍යරාජයන් වහන්සේ මැනැවින් පිහිටි සේක.
43. මෙසේ මෙම ශ‍්‍රී ලංකාද්වීපයට වැඩම කොට
මනුෂ්‍ය වාසයට යෝග්‍යස්ථානයක් බවට පත් කළ නිරාකූල ප‍්‍රඥාවෙන් හා
වීරපරාක‍්‍රමයෙන් අග‍්‍රප‍්‍රාප්ත මහාප‍්‍රාඥ වූ අපගේ භාග්‍යවතුන් වහන්සේ
පෙරළා උරුවෙල් දනව්වට වැඩි සේක.
- මහියංගණාගමන කථා නිම වූයේය. -
මහාවංශය 2
1. මහා මුනීන්ද්‍ර වූ අපගේ සර්වඥයන් වහන්සේ මහා සම්මත රාජවංශයෙහි මෙම කල්පය ආරම්භයෙහිදී මහා සම්මත නම් රජුව සිටියහ.
2. එසේම රෝජ, වරරෝජ, කල්‍යාණ, වරකල්‍යාණ, උපෝසථ, මන්දාතු, චර, උපචර,
3. චේතිය, මුචල, මහාමුචල, මුචලින්ද, සාගර, සාගරදේව,
4. භරත, භාගිරථ, රුචි, සුරුචි, ප‍්‍රතාප, මහාප‍්‍රතාප, පනාද, මහාපනාද,
5. සුදස්සන, මහාසුදස්සන, නේරු, මහානේරු වශයෙන් මහා සම්මත රාජවංශයෙහි මුල් රජ පරපුරෙහි දරු මුනුබුරෝ පහළවූහ.
6. අසංඛෙය්ය ආයු ඇතිව සිටි මේ අටවිසි රජවරු කුශාවතිය, රාජගෘහ ය, මිථිලාව යන නගරයන්හි රජකළහ.
7. එම රජපරපුරෙහි දරු මුනුබුරෝ සිය දෙනෙක් ද, පනස් හය දෙනෙක් ද, සැට දෙනෙක් ද, අසූ හාර දහසක් ද, එයින් මෑත භාගයේ
8. තිස් හය දෙනෙක් ද, විසි අට දෙනෙක් ද, විසි දෙදෙනෙක් ද, දහ අට දෙනෙක් ද, දහ හත් දෙනෙක් ද, පහළොස් දෙනෙක් ද, දහ හතර දෙනෙක් ද,
9. නව දෙනෙක් ද, සත් දෙනෙක් ද, යළි දොළොස්
දෙනෙක් ද, විසි පස් දෙනෙක් ද, ඉන්පසු විසි පස් දෙනෙක් ද, නැවත දොළොස්
දෙනෙක් ද, නැවතත් දොළොස් දෙනෙක් ද, නව දෙනෙක් ද,
10. මඛාදේව ආදී අසූ හාරදහසක් දෙනෙක් ද, කළාරජනක ආදී අසූ හාරදහසක් දෙනෙක් ද,
11. ඔක්කාක රජු දක්වා යළි දරු මුනුබුරෝ දහසය දෙනෙක් ද වශයෙන් ඔවුහු කැමති පරිද්දෙන් රාජ්‍ය අනුශාසනයෙහි යෙදුණාහ.
12. ඔක්කාක රජහු හට ඔක්කාමුඛ නමින් ජ්‍යෙෂ්ඨ කුමාරයෙක් විය. නිපුර, චන්දිමන්තු, චන්දමුඛ, සිවි, සඤ්ජය,
13. වෙස්සන්තර මහරජ, ජාලිය, සීහවාහන, සීහස්සර ආදී වශයෙන් දරු මුනුබුරෝ පහළ වූහ.
14. සීහස්සර රජහු හට අසූ දෙදහසක් දරු මුනුබුරෝ ය. ඔවුන්ගේ අන්තිමයා ජයසේන නම් විය.
15. කපිලවස්තු නගරයෙහි ශාක්‍ය රජවරුන් ලෙස මොවුහු ප‍්‍රසිද්ධ වූහ. සිංහහනු මහරජතුමා ජයසේන රජුගේ පුත‍්‍රයා ය.
16. ජයසේන රජු හට යශෝදරා නමින් දියණියක් ද සිටියාය. දේවදහ නගරයෙහි දෙව්දහ ශාක්‍ය නමින් රජෙක් සිටියේය.
17. ඔහුට අඤ්ජන නමින් කුමාරයෙක් ද,
කච්චානා නමින් කුමාරියක ද වශයෙන් දරුදෙදෙනෙක් වූහ. කච්චානා කුමාරිකාව
සිංහහනු රජුගේ අග‍්‍රමහේෂිකාව වූවාය.
18. අඤ්ජන ශාක්‍ය රජහුගේ අග‍්‍රමහේෂිකාව වූවා යශෝදරාවෝ ය. එම අඤ්ජන රජු හට මායා නමින් ද, ප‍්‍රජාපතී නමින් ද දූකුමරියෝ දෙදෙනෙක් වූහ.
19. එමෙන්ම එම රජු හට දණ්ඩපාණී ශාක්‍ය
නමින් ද, සුප‍්‍රබුද්ධ ශාක්‍ය නමින් ද කුමාරවරු දෙදෙනෙක් වූහ. සීහහනු රජු
හට පුත් කුමාරවරුන් පස් දෙනෙක් ද, දූ කුමාරිකාවෝ දෙදෙනෙක් ද වූහ.
20. සුද්ධෝදන, ධෝතෝදන, සක්කෝදන, සුක්කෝදන, අමිතෝදන වශයෙන් පඤ්ච පුත‍්‍රයෝ වූහ. දියණිවරු දෙදෙනා අමිතා, ප‍්‍රමිතා නම් වූහ.
21. සුප‍්‍රබුද්ධ ශාක්‍ය රජුගේ මහේෂිකාව
වූවා අමිතාවෝ ය. මේ දෙදෙනා හට භද්දකච්චානා නමින් දූ කුමරියක් ද, දේවදත්ත
නමින් පුත් කුමරෙක් ද වූහ.
22. මායා කුමරියත්, ප‍්‍රජාපතී කුමරියත්
සුද්ධෝදන රජුගේ මෙහෙසියෝ වූහ. සුද්ධෝදන මහරජුට දාව මායා බිසව්ගේ කුසින් අප
සර්වඥයන් වහන්සේ උපන් සේක.
23. මෙසේ මහාවංශ රාජ පරම්පරායෙහි ආවාහ
විවාහ ආදිය තුළින් නොබිඳී පැවති ක්ෂත‍්‍රිය වංශය නම් වූ මෙම මහා සම්මත රාජ
වංශයෙහි අපගේ මහා මුනීන්ද්‍රයන් වහන්සේගේ අවසාන ජන්මය විය.
24. බෝධිසත්ව වූ සිද්ධාර්ථ කුමාරයන් වහන්සේගේ මහේෂිකාව වූවා භද්දකච්චානා කුමාරිකාවෝ ය. ඒ මහේෂිකාවගේ පුත‍්‍රයා වූයේ රාහුල කුමාරයා ය.
25. බිම්බිසාර කුමාරයා ද, සිද්ධාර්ථ කුමාරයා ද යහළුවෝ ය. ඒ දෙදෙනාගේ පියරජවරුන් ද යහළුවෝ ය.
26. අප බෝසතාණන් වහන්සේ බිම්බිසාර රජු හට
වඩා පස් අවුරුද්දකින් වැඩිමහළු වූ සේක. මහබෝසතාණන් වහන්සේ විසින්
අභිනිෂ්ක‍්‍රමණය කරන ලද්දේ වයස විසි නවයේ දී ය.
27. සය වර්ෂයක් පටන් වෙර වඩමින් දුෂ්කර
ක‍්‍රියායෙහි යෙදී (එය අත්හැර මැදුම් පිළිවෙත තුළින්) උතුම් සම්බෝධියට
පත්ව, තිස් පස් වැනි වියෙහිදී අප බුදුරජාණෝ බිම්බිසාර රජු කරා වැඩි සේක.
28. බිම්බිසාර රජු තම පියා විසින් අභිෂේක කරන ලද්දේ වයස පහළොවේදී ය. මහා ප‍්‍රාඥ වූ බිම්බිසාර රජ තෙමේ එතැන් සිට රජකරන්නට විය.
29. බිම්බිසාරයන් රජ පැමිණි දහසය වෙනි වසරේ දී ශාස්තෘන් වහන්සේ දහම් දෙසූ සේක. හෙතෙම පනස් දෙවසරක් රජකම් කළේය.
30. අපගේ සර්වඥයන් වහන්සේ මුණගැසෙන්නට පෙර ඔහු පසළොස් වසරක් රජ කළේය. තථාගතයන් වහන්සේ ජීවමානව වැඩසිටි කල්හි තිස් හත් වසරක් රජකළේය.
31. බිම්බිසාර රජහුගේ පුත‍්‍ර වූ කෲර සිත්
ඇති මහා මිත‍්‍රද්‍රෝහී වූ අජාතසත්තු කුමාරයා බිම්බිසාර රජහු මරවා අවුරුදු
තිස් දෙකක් රාජ්‍ය පාලනය කළේය.
32. අප මුනිඳාණන් වහන්සේ පිරිනිවන් පා වදාළේ අජාසත් රජ වී අටවෙනි වර්ෂයෙහිදී ය. ඉන්පසුව ඔහු විසි හතර වර්ෂයක් රජ කළේ ය.
33. සකල ගුණයෙන්ගෙන් මුදුන් පත් වූ අප
තථාගතයන් වහන්සේ ක්ලේශ වසඟයනට පත් නොවූ සිතින් අනිත්‍යභාවයට පත්ව පිරිනිවන්
පා වදාළ සේක. මෙසේ මේ ලෝකයෙහි භය උපදවන්නා වූ අනිත්‍ය ස්වභාවය යමෙක්
නුවණින් විමසා අවබෝධ කරයි ද, ඔහු දුකෙන් එතෙර වන්නේ ය.
- හුදීජන පහන් සංවේගය පිණිස කරන ලද මහාවංශයෙහි මහාසම්මත වංශය නම් වූ දෙවෙනි පරිච්ඡෙදය නිමාවට පත්විය. -මහාවංශය 3
1. පංචනේත්‍රධාරී වූ අතුල්‍ය වූ සර්වඥයන් වහන්සේ පන්සාළිස් වසක් මැ වැඩවසමින් ලෝක සත්වයාගේ හිතසුව පිණිස සකළ බුද්ධකෘත්‍යය කොට නිමවා,
2. කුසිනාරායෙහි උත්තම සාල වෘක්ෂයන් දෙක
අතරෙහි වැඩසිටි ලෝකයෙහි එකම ප්‍රදීපය වූ ඒ බුදුරජාණන් වහන්සේ වෙසක් පුන්
පොහෝ දිනයෙහි පිරිනිවන් පෑ සේක.
3. ගණනින් නිමා කළ නොහැකි භික්ෂු සංඝයා
වහන්සේ ද එහි රැස්වූහ. එමෙන්ම ක්ෂත්‍රීය, බ්‍රාහ්මණ, වෛශ්‍ය හා ශුද්‍ර යන
වර්ණයන්ට අයත් ජනයා ද, දෙවියෝ ද එහි රැස්වූහ.
4. ඒ රැස් වූ භික්ෂූන් අතුරෙන්
ප්‍රමුඛත්වය දැරූ භික්ෂූහු සත් ලක්ෂයක් වූහ. උන්වහන්සේලා අතර එකල්හී
සංඝස්ථවිරයන් වහන්සේ වූවෝ මහා කස්සප මහරහතන් වහන්සේ ය.
5. ශාස්තෘන් වහන්සේගේ සිරුර සම්බන්ධ වූ
ශාරීරික ධාතු කෘත්‍යයයන් නිමා කරවූ ඒ මහරහතන් වහන්සේ ශාස්තෘන් වහන්සේගේ
ධර්මයෙහි චිරස්ථිතිය කැමති වන්නාහු,
6. දසබලධාරී ලෝකනාථයන් වහන්සේ පිරිනිවන් පෑමෙන් සත්වන දින සුභද්‍ර නම් වූ මහළු පැවිද්දාගේ අභද්‍ර වචනය සිහි කරන්නාහු,
7. එමෙන්ම ශාස්තෘන් වහන්සේ තම සිවුර මහා
කස්සපයන් වහන්සේට ලබාදීමෙන් සම තන්හි පිහිටුවා වදාළ කරුණත්, ශ්‍රී සද්ධර්මය
ස්ථිරව පිහිටුවාලීම පිණිස බුදුරජුන්ගෙන් ලත් අනුග්‍රහයත් සිහි කරන්නාහු,
8. සද්ධර්ම සංගීතිය හෙවත් ධර්ම සංගායනාව
කිරීම පිණිස සම්බුදුරජුන්ගේ අනුමැතිය ලත් නවාංග ශාස්තෘ ශාසනධාරී වූ
සර්වාංගයන්ගෙන් උපලක්ෂිත වූ,
9. උත්තම වූ මහා ක්ෂීණාශ්‍රව වූ භික්ෂූන්
වහන්සේලා සම්මත කරන සේක් ආනන්ද මහා ස්ථවිරයන් වහන්සේ තවම අරහත්වයට පත් නොවූ
කාරණයෙන් උන්වහන්සේ වෙනුවෙන් එක නමක් අඩු කොට පන්සිය නමක් සම්මත කළ සේක.
10. අනඳ මාහිමියන් වහන්සේ බැහැර කොට
සංගායනාව කළ නොහැකි බව දැන රහත් භික්ෂූන් විසින් විශේෂයෙන් ඉල්ලා සිටින
ලදුව එතෙක් නොරහත් වූ ආනන්ද ස්ථවිරයන් වහන්සේව යළි සම්මත කළ සේක.
11. සාධු ක්‍රීඩායෙන් සත් දවසක් ද, ධාතු පූජායෙන් සත් දවසක් ද වශයෙන් අඩමසක් ගෙවා සකල ලොකානුකම්පායෙන් යුතු වූ ඒ රහතන් වහන්සේලා
12. රාජගෘහ නගරයෙහි වස් වසමින් ධර්ම
සංගායනා කරන්නෙමුයි සලකා සංගායනාවට සහභාගී නොවන අන්‍ය භික්ෂූන් එහි වස්
නොවැසිය යුතු යැයි නිශ්චය කොට,
13. ඒ ඒ ප්‍රදේශයන්හි ශෝකාතුර වූ මහාජනයා අස්වසාලමින් ඒ මහරහතන් වහන්සේ ජම්බුද්වීපයෙහි චාරිකායෙහි වඩමින්,
14. ඇසළ මස පුර පක්ෂයෙහි චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස යන සිව්පසයෙන් සමෘද්ධ වූ රාජගෘහයට වැඩිසේක.
15. ස්ථිර වූ සසුන් ගුණයෙහි පිහිටි සර්වඥ මතයෙහි දක්ෂ වූ ඒ මහා කස්සප මහරහතන් වහන්සේ ආදී රහතන් වහන්සේලා රාජගෘහයෙහි වස් එළැඹ,
16. වස්සාන ඍතුවෙහි ප්‍රථම මාසයෙහි අජාසත්ත රජුට පවසා රාජගෘහයෙහි සියලූම කුටි සේනාසනයන් පිළිසකර කැරවූහ.
17. වෙහෙර පිළිසකරයන් නිමි කල්හි ‘අපි දැන් සර්වඥ ධර්මය සංගායනා කරම්හැ’යි රජ හට වදාළහ.
18. ‘මා විසින් ඒ වෙනුවෙන් කුමක් කළ යුතු
දැ’යි පුළුවුත් රජ හට ‘භික්ෂූන් වැඩහිඳිනා තැන් පිළියෙල කළ මැනැවැ’යි
වදාළහ. ඉක්බිති රජ තෙමේ ‘කොතන්හි දැ’යි විචාරන්නේ උන්වහන්සේලා විසින්
පෙන්වා වදාළ තැන වූ,
19. වේභාර පර්වත ප්‍රාන්තයෙහි සප්තපර්ණී ගුහාද්වාරයෙහි දිව්‍ය සභාව සමාන වූ රම්‍ය වූ මණ්ඩපයක් වහා කැරවූයේය.
20. ඒ අජාසත් රජ තෙමේ සර්වාකාරයෙන් මණ්ඩපය සරසා භික්ෂූන් වහන්සේලා පන්සිය නමට වැඩසිටීමට අනර්ඝ වූ ඇතිරිලි ඇතිරවූයේය.
21. එහි උතුරු දිශාවට මුහුණලා දකුණු දිශායෙහි මහාර්ඝ වූ උත්තම වූ ථේරාසනයක් ඉතා යහපත් ලෙස පණවන ලද්දේය.
22. එම මණ්ඩපය මධ්‍යයෙහි පෙරදිගට මුහුණලා සුගතයන් වහන්සේට උචිත පරිද්දෙන් උතුම් ධර්මාසනයක් ඉතා යහපත් කොට පණවන ලද්දේය.
23. ඉක්බිති රජතෙමේ ධර්ම සංගායනාව පිණිස
අපගේ කටයුතු නිමියේයැයි මහරහතන් වහන්සේලාට දැනුම් දුන්නේය. ඒ මහරහතන්
වහන්සේලා ආනන්දය ඇතිකරවන ආනන්ද මහාස්ථවිරයන් වහන්සේට මේ වචන පැවසූහ.
24. ‘එම්බා ආනන්දයෙනි, හෙට රහතුන්ගේ සංඝ
සන්නිපාතයයි. සේඛ භික්ෂුවක් වශයෙන් එහි ඔබගේ පැමිණීම නොහොබනේය. එහෙයින්
තෙපි තමාගේ යහපත පිණිස අප්‍රමාදී විහරණයෙන් කල් ගෙවව්.’
25. මෙසේ රහතන් වහන්සේලාගෙන් චෝදනා ලැබූ ආනන්ද ස්ථවිරයන් වහන්සේ වීරිය සමකොට සතර ඉරියව්වෙන් වෙන්ව උතුම් අරහත්වයට පත්වූ සේක.
26. වස්සානයෙහි දෙවන මාසයෙහි දෙවෙනි දින ඒ සිත්කළු මණ්ඩපයෙහි රහතන් වහන්සේලාගේ සංඝසන්නිපාතය විය.
27. ඉක්බිති ඒ රහතන් වහන්සේලා ආනන්ද ස්ථවිරයන් වහන්සේට සුදුසු අසුන වෙන්කොට තබා තමන්වහන්සේලා සුදුසු අයුරින් අසුන්හි වැඩහුන් සේක.
28. ඒ ආනන්ද ස්ථවිරයන් වහන්සේ තම අරහත්ව
ප්‍රතිලාභය සංඝයාට හඟවනු පිණිස උන්වහන්සේලා සමඟ නොවැඩි සේක. ආනන්ද
ස්ථවිරයන් වහන්සේ කොහි සිටිත්දැයි යම්කිසි භික්ෂුවක් විසින් විමසන කල්හි,
29. පොළොවෙහි කිමිඳ අවුත් අහස් ගමනින් හෝ අවුත් ආනන්ද මහරහතන් වහන්සේ එහි වැඩ තමන් වෙනුවෙන් වෙන් කරන ලද අසුනෙහි වැඩහුන් සේක.
30. ශාසනභාරධාරී සියලූ රහතන් වහන්සේලා
විනය සංගායනායෙහිලා උපාලි මහරහතන් වහන්සේ ද, අවශේෂ ධර්මයන් සංගායනායෙහිලා
අනඳ මහරහතන් වහන්සේ ද ප්‍රධාන කළහ.
31. මහාථේරාසනයෙහි වැඩසිටි මහාකස්සප
මහරහතන් වහන්සේ විනය විචාරීම පිණිස තමන්වහන්සේ වෙතටම පවරා ගත් සේක. විනය
විසර්ජනය හෙවත් විසඳීම පිණිස පවරණ ලද්දාහු උපාලි තෙරුන් වහන්සේය.
32. ඒ මහාකස්සප මහරහතන් වහන්සේ ථේරාසනයෙහි වැඩහිඳ විනය විමසූ සේක. ධර්මාසනයෙහි වැඩහුන් උපාලි මහරහතන් වහන්සේ විනය විසඳු සේක.
33. විනයධර භික්ෂූන්ගෙන් අග්‍ර වූ විනයෙහිලා දත යුතු සියල්ලෙහි දක්ෂ වූ උපාලි මහරහතන් වහන්සේ විසඳු ක්‍රමයෙහිලා විනය සජ්ඣායනා කළහ.
34. බහුශ්‍රැත භික්ෂූන්ගෙන් අග්‍රවූ
මහාර්ෂී වූ සුගතයන් වහන්සේගේ ධර්ම භාණ්ඩාගාරයෙහි ආරක්ෂක වූ ආනන්ද මහරහතන්
වහන්සේ ධර්ම විසඳීමෙහිලා සම්මත කොට, මහාකස්සප මහරහතන් වහන්සේ ධර්මය විමසීම
පිණිස තමන්වහන්සේම සම්මත කරගත් සේක.
35. ඒ අයුරින් ධර්මය විසඳාලීම පිණිස තමන් සම්මත වූ ඒ ආනන්ද මහරහතන් වහන්සේ ඉතුරු නොකොට සකල ධර්මය විසඳාලූ සේක.
36. වේදේහමුනි වූ ධර්ම අර්ථයන්හි දක්ෂ වූ ඒ
ආනන්ද මහරහතන් වහන්සේ විසින් විසඳන ලද ධර්ම ක්‍රමයෙන් ඒ සියලූ රහතන්
වහන්සේලා සකල ධර්මය සජ්ඣායනා කළහ.
37. මෙසේ සකල ලෝක හිතකාරී වූ මහරහතන්
වහන්සේලා විසින් සකල ලෝකයාගේම හිතසුව පිණිස සත්මාසයකින් ඒ ධර්ම සංගායනා
තොමෝ සම්පූර්ණ කරන ලද්දීය.
38. මහාකස්සප මහරහතන් වහන්සේ විසින් මේ
සම්මා සම්බුද්ධ ශාසනය පන්දහසක් කල් අවුරුදු පැවැත්මෙහිලා පොහොසත් වන
පරිද්දෙන් ධර්ම සංගායනාව කරන ලද්දේයැයි
39. සකල සාගර ජලය හිම් කොට ගත් මහාපෘථිවි තොමෝ අතිශයින්ම හටගත් ප්‍රීති ප්‍රමෝද්‍යය ඇත්තී සංගායනාව අවසන්හි හයවරක් කම්පිත වූවාය.
40. ලෝකයෙහි අනේක වූ ආශ්චර්යයෝ ඇතිවූහ.
මහරහතන් වහන්සේලා විසින් සංගායනා තුළින් කරන ලද මෙම මහාස්ථවිරයන්
වහන්සේලාගේ පරපුර ‘ථේරීය’ නම් වේ.
41. ඒ මහරහතන් වහන්සේලා ප්‍රථම ධර්ම සංගායනාව කොට ලෝකයට හිතසුව පිණිස පවතින බොහෝ දේ කොට ආයු ඇති තෙක් වැඩහිඳ පිරිනිවී ගිය සේක.
42. ප්‍රඥා ප්‍රදීපයෙන් මෝහාන්ධකාරය
ප්‍රහාණය කළ ලෝකාන්ධකාරය දුරු කිරීමෙහිලා මහා ප්‍රදීපයන් බඳු වූ ඒ මහරහතන්
වහන්සේලා පවා මරණය නම් වූ ඝෝරතර සැඩසුළඟ හැමීමෙන් නිවා දමන ලද්දාහුය.
එහෙයින් නුවණැති කෙනා ජීවිත මදය අත්හැර දැමිය යුත්තේය.
- හුදීජන පහන් සංවේගය පිණිස කරන ලද මහාවංශයෙහි ප්‍රථම ධර්ම සංගීතිය නම් වූ තෙවෙනි පරිච්ජේය නිමාවට පත්විය. - මහාවංශය 4
1. මිත‍්‍රද්‍රෝහීවූ උදායීභද්‍ර නම් පුත‍්‍රයෙක් අජාසත් රජතුමාට සිටියේය. හේ තම පියාවූ අජාසත් රජු මරවා දහසය අවුරුද්දක් රාජ්‍ය කළේය.
2. උදායීභද්‍රගේ පුත‍්‍රයාවූ අනුරුද්ධ
කුමාරයා ද තම පියාව ඝාතනය කෙරෙව්වේය.අනුරුද්ධ රජුගේ පුත‍්‍ර වූමුණ්ඩ
කුමාරයා ද තම පියාණන්වූ අනුරුද්ධ රජු මරවා රාජ්‍යය විචාළේය.
3. මිසදිටු ගත් මිත‍්‍රද්‍රෝහීවූ ඔවුහු මගධ රාජ්‍යය කළහ. මෙම අනුරුද්ධ සහ මුණ්ඩයන රජවරුන්ගේ යුගය අට අවුරුද්දකින් ඉක්ම ගියේය.
4. මුණ්ඩ රාජ පුත‍්‍රයා වූ නාගදාසක නම් පවිටු කුමරා තම පියා ඝාතනය කරවා විසිහතර වසරක් රාජ්‍යය විචාළේය.
5. ‘මේවනාහී පීතෘ ඝාතක පරම්පරාවකි’යි කියා කිපුණු නගරවැසියෝ සමඟිව එක්ව නාගදාසක රජු මගධ රාජ්‍යයෙන් පහ කොට,
6. ජනයා විසින් ඉතායහපතැයි සම්මත කරගත්
සුසුනාග යැයි ප‍්‍රසිද්ධවූ සියල්ලන් හට යහපත සළසන සිත්ඇති ඇමතිවරයෙකු
රාජ්‍යයෙහි මැනැවින් අභිෂේක කළාහුය.
7. ඒ රජතෙමේ දහ අටවසරක් මගධ රාජ්‍යය විචාළේය. ඔහුගේ පුත‍්‍ර වූ කාළාශෝක කුමාර තෙමේ විසිඅටවසරක් රාජ්‍යය විචාළේය.
8. කළාශෝක රජතුමාගේ අභිෂේකයෙන් දසවෙනි වර්ෂය ඉක්ම යන කල්හි සම්බුදුරජාණන්වහන්සේ පිරිනිවන් පෑමෙන් වර්ෂ සියයක් සම්පූර්ණ වූයේය.
9. එකල්හි විශාලා මහනුවර වාසය කරන නොයෙක්
වජ්ජිපුත්තක භික්ෂූන්වහන්සේලා අඟක ලූණු දමාගෙන අවශ්‍ය විටෙක ගෙන වැළඳීම
කැපය (සිංගිලෝණකප්ප), ඉර අවරට ගොස් දෑඟුලක් යනතෙක් වැළඳීම කැපය
(ද්වංගුලකප්ප), එමෙන්ම ගමනක් වඩිනවිට දන් වළඳා අන් ගමකට ගොස් යළි වැළඳීම
කැපය (ගාමන්තරකප්ප),
10. ප‍්‍රධාන සීමාවක ඇති කුඩා කුඩා
සීමාවලදී වෙන් වෙන් පොහොය කිරීම කැපය (ආවාසකප්ප), ආචාර්ය උපාධ්‍යායය ආදීන්
විසින්ප රම්පරාවෙන් පුරුදු කරන ලද දේ ඒ අයුරින්ම පුරුදුකිරීම කැපය
(ආචිණ්ණකප්ප), විනය කර්ම කිරීමෙන් පසු භික්ෂූන් අතර ඒ සඳහා අනුමැතිය ගැනීම
කැපය (අනුමතිකප්ප), සුරා බවට පත් නොවූ මෙන්ම නොමේරූ රහ මෙර පානයකිරී මකැපය
(ජලෝගිකප්ප), කැප කොට නොගත් ආහාර පාන ආදිය වැළඳීම කැපය (අමථිතිකප්ප), දාවලූ
නැති නිසීදන පරිහරණය කැපය (අදසකනිසීදනකප්ප), රන් රිදී මිල මුදල් පිළිගැනීම
කැපය (ජාතරූපාදීකප්ප)
11. මෙසේ විශාලා මහනුවර වැසි අලජ්ජී
භික්ෂූහු මෙම කරුණු දහය කැපයැයි සම්මත කොට ප‍්‍රකාශ කළහ. වජ්ජි දේශයන්හි
චාරිකා යෙහි වඩිමින් සිටි යස මහරහතන් වහන්සේ මෙම දසවස්තුව ගැනඅසා,
12. ෂඩභිඥාලාභී මහබලැති කාකණ්ඩපුත‍්‍ර වූ
යස මහ රහතන්වහන්සේ මෙසේ අකැප ලෙස සම්මත කරගත් කරුණු දහය තුළින් උපදින
ශාසනික අර්බුදය සංසිඳ වනු පිණිස උත්සාහ සහිතව විසල් පුර මහ වනයට වැඩිසේක.
13. ඒ වජ්ජි භික්ෂූහු උපෝසථාගාරයෙහිදිය සහිත වූලෝහ භාජනයක් තබා ‘සංඝයා හට කහවණු ආදිය දෙව්’කියා උපාසකවරුන්ට කීවාහුය.
14. එවිට යස මහරහතන්වහන්සේ ‘මෙය කැප නැත.
එනිසා සංඝයාට කහවණු නොදෙව්’ කියා උපාසකවරුන්ව වැළැක්වූහ. එකල්හී ඒ භික්ෂූහු
යස මහරහතන්වහන්සේ ලවා එම ගිහියන් ගෙන් සමාව ගැනීම පිණිස ‘පටිසාරණීය’ නම්වූ
විනය කර්මය කළහ.
15. යස මහරහතන්වහන්සේ තමා හා යායුතු සහායක
අනු දූත භික්ෂුවක ඉල්ලාගෙන නගර වැසියන් හට තමන් වහන්සේගේ ධර්ම වාදී බව
පැහැදිලිකොට ඔහු සමඟ විශාලා මහනුවරට වැඩියහ.
16. එවිට ඒ අනුදූත භික්ෂුවගේ බස් ඇසූ
අලජ්ජී භික්ෂූහු යස මහරහතන්වහන්සේව සංඝයාගෙන් බැහැර කිරීමපිණිස ‘උක්ඛේපනීය
කර්මය’ නම්වූ විනය කර්මය කිරීම පිණිස යස මහරහතන්වහන්සේ වැඩ සිටි කුටියවට
කළහ.
17. යස මහරහතන්වහන්සේ එතැනින් අහසට
පැනනැඟී කොසඹෑ නුවරට වැඩම කළහ. පාවානුවරවාසීභික්ෂූන්ටද, අවන්තිරටවාසී
භික්ෂූන්ටද වහා දූතයන්යැවූසේක.
18. එලෙසින්ම තමන්වහන්සේ අහෝ ගංග පර්වත
විහාරයට වැඩම කොට සාණ රට වාසී වූ සම්භූත නම් මහරහතන්වහන්සේ හමු වී සිදුවූ
සියල්ල සැළ කරසිටියහ.
19. පාවා නුවරවාසී සැට නමක්වූ ද,
අවන්තිරටවාසී අසූ නමක්වූ ද ක්ෂීණාශ‍්‍රවවූ සියලූ රහතන්වහන්සේලා අහෝ ගංග
පර්වත විහාරයට අහසින් බැස්සාහුය.
20. ඒ ඒ තැන එහි වැඩි සියලූ භික්ෂූන්වහන්සේලා අනූ දහසක් වූහ. ඒ කෙලෙස් හුල් රහිත වූ මහරහතන්වහන්සේලා මෙකරුණ සාකච්ඡාකොට,
21. බහුශ‍්‍රැත වූ ආශ‍්‍රව රහිත වූ
සෝරෙය්යරටවාසී රේවත මහතෙරුන්වහන්සේ ඒ කාලයෙහි වැඩ සිටි
ප‍්‍රධානභික්ෂූන්වහන්සේ බව දැන උන්වහන්සේ දැකීම පිණිස නික්ම ගියාහුය.
22. ඒ රේවත මහරහතන්වහන්සේ එම සාකච්ඡාව දිව
කණින් අසා විශාලා මහනුවරට වඩිනු පිණිස පහසු ගමනකට කැමතිව එකෙණෙහිම
තමන්වහන්සේ සිටි තැනින් නික්ම වැඩිසේක.
23. උදෑසනින් නික්මුණු තැන සිට සවස පැමිණෙන්නාවූභික්ෂූන්ට ඒ රේවත මහරහතන්වහන්සේව සහජාත නම් භූමියේදී දැක ගන්නට හැකි වූහ.
24. එහිදී සම්භූත මහරහතන්වහන්සේගේ
නියෝගයෙන් යස මහරහතන් වහන්සේ සද්ධර්ම ශ‍්‍රවණය සිදු කොට අවසානයේදී උත්තමවූ
රේවත මහරහතන්වහන්සේ වෙත එළැඹ,
25. දසවස්තුව කැප අකැපබව විමසූ සේක. රේවත
මහරහතන්වහන්සේ එයඅකැප යැයි ප‍්‍රතික්ෂේප කළසේක. මේ අර්බුදය අසා එය
වළක්වාලමුයි පවසා සිටි සේක.
26. පාපීභික්ෂූහු ද උතුම් වූ රේවත මහරහතන්
වහන්සේව තමන්ගේ පක්ෂයට නතු කරගැනීමේ අපේක්ෂාවෙන් බොහෝ කැප සරුප්ශ‍්‍රමණ
පරිෂ්කාර පිළියෙළකොට,
27. වහා නැවෙන් ගොස් සහජාත භූමිය අසලට පැමිණි විට දන් වළඳන වේලාව පැමිණිහෙයින්ද න් වැළඳීම කළහ.
28. එකල්හී ආනන්ද මහරහතන්වහන්සේ ළඟ වැඩසිට
දැනට සහජාත භූමියේ වැඩවසන සාළ්හ නම් රහතන්වහන්සේ මෙම පාවානුවරවැසි
භික්ෂූහු ධර්මවාදීහු වෙත් දැයි සිතා වදාළහ.
29. එවිට මහාබ‍්‍රහ්මරාජයා උන්වහන්සේ වෙත
එළැඹ ‘ධර්මයෙහි පිහිටාසිටින්න’ යැයි පවසා සිටියේය. එවිට සාළ්හ රහතන්වහන්සේ
නිරන්තරයෙන් තමන් ධර්මයෙහි පිහිටා සිටින බව එම බ‍්‍රහ්මරාජයාට වදාළහ.
30. අර භික්ෂූහු පරිෂ්කාර ද රැගෙන රේවත
මහරහතන් වහන්සේව දුටහ. එවිට රේවත තෙරණුවෝ එමපිරි කර නොගත් සේක. එම
අධර්මවාදී පක්ෂය ගත් උත්තර නම්වූ තම ශිෂ්‍ය භික්ෂුව ද නෙරපූහ.
31. ඉක්බිති ඒ පාප භික්ෂූහු විශාලා
මහනුවරට ගොස් එතැනින් පාටලීපුත‍්‍ර නගරයට ගියාහුය. මේ අලජ්ජී භික්ෂූහු
කාලාශෝක රජතුමා මුණගැසී මෙසේ කීහ.
32. ‘අපි විශාලා මහනුවර මහා වන විහාරයෙහි ශාස්තෘන්වහන්සේ වැඩ සිටි ගන්ධ කුටිය ආරක්ෂාකරමින් වජ්ජි භූමියෙහි වාසය කරමු.
33. ග‍්‍රාම වාසී භික්ෂූන්වහන්සේලා අප ගේ විහාරය ඩැහැගන්නෙමුයිකියා පැමිණෙති. මහරජාණෙනි, ඔවුන් වළක්වාලනුමැනැව’
34. මෙසේ රජතුමාව වැරදි කරුණ කපිහිටුවා ඔවුහු විශාලා මහනුවරට පැමිණියහ. මෙම සහජාත භූමිය රේවත මහරහතන්වහන්සේ සමීපයෙහි,
35. දස වස්තුවෙන්ඇතිවූ අර්බුදය සංසිඳුවන අදහසින් රැස්වූ භික්ෂූන්වහන්සේලා ගණනින් එකොලොස් ලක්ෂ අනූ දහසක්වූහ.
36. නමුත් මෙකරුණට මුල්වූ වජ්ජි පුත්තක
භික්ෂූන්ගෙන් වෙන්ව මෙකී දස වස්තුව සමථයකට පත් කිරීමට රේවත මහ රහතන්වහන්සේ
නොකැමති වූ සේක. එකල්හී සියලූ භික්ෂූන්වහන්සේ එතැනින් නික්ම විශාලා මහනුවරට
වැඩියහ.
- හුදී ජන පහන් සංවේගය පිණිස කරන ලද මහා වංශයෙහි ද්විතීය ධර්ම සංගීතිය නම්වූ සිව්වෙනි පරිච්ජේදයෙන් කොටසකි. -
මහාවංශය 5
37. පාපී භික්ෂූන්ගේ පක්ෂය ගත් ඒ රජ තෙමේ ද
ඇමතිවරුන් ව එහි යැව්වේ ය. නමුත් බුදුසසුනෙහි පහන් සිත් ඇති දෙවියන්ගේ
ආනුභාවයෙන් ඒ ඇමතිවරුන්ට පාර වැරදී වෙනත් තැනකට ගියහ.
38. ඒ ඇමතිවරුන් ව පිටත් කළ මිහිපල් තෙමේ
රාත‍්‍රියෙහි නිදා සිටිද්දී සිහිනයක් දුටුවේ ය. එනම් තම ශරීරය නිරයේ ලෝදිය
සැලියක වැටී ඇති ආකාරයයි.
39. රජතුමා අතිශයින් ම බියට පත්විය. රජතුමා ව අස්වසනු පිණිස ඔහුගේ නැගණිය වූ නන්දා නම් රහත් ස්ථවිරීන් වහන්සේ අහසින් වැඩම කළෝ ය.
40. ‘‘රජතුමනි, නුඹවහන්සේ විසින් කරන
ලද්දේ බරපතල කර්මයකි. ධාර්මික වූ භික්ෂු සංඝයාගෙන් සමාව ගන්න. නුඹවහන්සේ
ධාර්මික භික්ෂූන් වහන්සේලාගේ පක්ෂය ගෙන බුද්ධ ශාසනයට උපකාර කරන්න.
41. මෙසේ කළ විට නුඹවහන්සේට සෙතක් වන්නේ ම ය” කියා ඕ තෝමෝ පිටත්ව ගියා ය. රජතෙමේ උදෑසනින් ම විශාලා මහනුවර බලා නික්ම ගියේ ය.
42. ඒ රජතෙමේ විශාලාවෙහි මහාවනයට ගොස් භික්ෂු සංඝයා රැස් කරවා දෙපක්ෂයෙහි ම මතවාද අසා ධාර්මික වූ භික්ෂු සංඝයාගේ පක්ෂයට කැමති වී,
43. ඒ දැහැමි වූ සියලූ භික්ෂු සංඝයා
වහන්සේලා කමා කරවාගෙන තමන්ගේ ධාර්මික වූ ශාසනික පක්ෂපාතීභාවය ප‍්‍රකාශ කොට
නුඹවහන්සේලා කැමති පරිද්දෙන්,
44. බුද්ධ ශාසනයේ දියුණුවට කටයුතු කරන්න යැයි ප‍්‍රකාශ කොට උන්වහන්සේලාට ආරක්ෂා රැකවරණ ලබා දී තමන්ගේ නගරයට ගියේ ය.
45. එකල්හි එම දසවස්තුව විනිශ්චය කිරීම පිණිස සංඝයා වහන්සේ රැස් වූ සේක. එකල්හි කෙළවරක් නැති වාද විවාද කථාවන් සංඝයා මැද හටගත්තේ ය.
46. ඉක්බිති ඒ රේවත මහරහතන් වහන්සේ සංඝයා
මැදට වැඩමකොට සංඝයාට කරුණු අස්සවා දසවස්තුව පිළිබඳ ව විනිශ්චය කිරීම පිණිස,
අධර්මවාදී පිරිස සංඝයාගෙන් බැහැර කිරීම වෙනුවෙන් කරන උබ්භාහිකා නම් විනය
කර්මය නිර්දේශ කළ සේක.
47. ඒ සඳහා පෙරදිගවාසී රහතන් වහන්සේලා සතර
නමක් ද, පාවෙය්යක භික්ෂූන් සතර නමක් ද සම්මත කළ සේක. ඒ භික්ෂූන් වහන්සේලා
අට නම උබ්භාහිකාව සම්මත කළ සේක.
48. සබ්බකාමී රහතන් වහන්සේ ද, සාළ්හ රහතන්
වහන්සේ ද, ඛුජ්ජසෝභිත නම් රහතන් වහන්සේ, වාසභගාමික රහතන් වහන්සේ ද අයත්
වූයේ පෙරදිගවාසී භික්ෂු සංඝයාට ය.
49. රේවත රහතන් වහන්සේ ද, සාණුවාසී සම්භූත
රහතන් වහන්සේ ද, කාකණ්ඩපුත‍්‍ර යස රහතන් වහන්සේ ද, සුමන රහතන් වහන්සේ ද
අයත් වූයේ පාවෙය්යක සංඝයාට ය.
50. මෙම රහතන් වහන්සේලා අට නම නිශ්ශබ්දතාවයෙන් යුතු ව නිරාකූල ලෙස මෙම දසවස්තුව සංසිඳුවනු පිණිස වාලූකාරාමයට වැඩම කළහ.
51. එහි දී නවක භික්ෂූන් වහන්සේ නමක්
විසින් පණවන ලද යහපත් ආසනයෙහි මහාමුනීන්ද්‍රයන් වහන්සේගේ අදහස් ගැන
අවබෝධයක් ඇති මහා ස්ථවිරයන් වහන්සේලා වැඩහුන්හ.
52. මෙම දසවස්තුව පිළිබඳ ව එක එක කරුණ
ප‍්‍රශ්න විමසීමෙහි දක්ෂ වූ රේවත මහරහතන් වහන්සේ විසින් සබ්බකාමී මහරහතන්
වහන්සේගෙන් විමසා සිටි සේක.
53. එකල්හි සබ්බකාමී මහරහතන් වහන්සේ සූත‍්‍ර දේශනා උපුටා දැක්වීමෙන් දසවස්තුවට අදාළ එක් එක් කාරණය කැප නො වන බවට පවසා වදාළහ.
54. ඒ රහතන් වහන්සේලා මනා පිළිවෙලකින් යුක්ත ව එම ආරවුල බැහැර කොට සංඝයා මැදදීම එහි ප‍්‍රශ්න විමසීමත්, විසඳීමත් කළ සේක.
55. ඒ මහා ස්ථවිරයන් වහන්සේ දසවස්තුව ප‍්‍රසිද්ධ කොට එයට යොමු වූ පාපී භික්ෂූන් වහන්සේලා දසදහසක් පිරිසට නිග‍්‍රහ කළ සේක.
56. එකල්හි මෙම පෘථිවියෙහි සංඝයා අතර
වැඩිමහලූ තෙරුන් වහන්සේව වැඩසිටියේ සබ්බකාමී මහරහතන් වහන්සේ ය. උන්වහන්සේ
උපසම්පදාව ලැබ එකසිය විසි වස් ඇතිව වැඩ සිටි සේක.
57. සබ්බකාමී රහතන් වහන්සේ ද, සාළ්හ රහතන්
වහන්සේ ද, රේවත රහතන් වහන්සේ ද, ඛුජ්ජසෝභිත රහතන් වහන්සේ ද, කාකණ්ඩපුත‍්‍ර
යස රහතන් වහන්සේ, සාණුවාසික සම්භූත රහතන් වහන්සේ ද,
58. යන මේ රහතන් වහන්සේලා ආනන්ද මහරහතන්
වහන්සේගේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා වූ සේක. වසභගාමික රහතන් වහන්සේ ද, සුමන
රහතන් වහන්සේ ද යන මෙම රහතන් වහන්සේලා දෙනම
59. අනුරුද්ධ මහරහතන් වහන්සේගේ ශිෂ්‍ය
භික්ෂූන් වහන්සේලා වූ සේක. ඒ සියලූ රහතන් වහන්සේලා තථාගතයන් වහන්සේ දැකීමට
වාසනාව ලද භික්ෂූන් වහන්සේලා වූ සේක.
60. මෙම කරුණ උදෙසා භික්ෂූන් වහන්සේලා දොළොස් ලක්ෂයක් රැස්වූහ. ඒ සංඝ සන්නිපාතයෙහිලා ප‍්‍රමුඛව වැඩසිටියේ රේවත මහරහතන් වහන්සේ ය.
61. එහෙයින් එවිට ඒ රේවත මහරහතන් වහන්සේ චිරාත් කාලයක් සද්ධර්මය පවතිනු පිණිස ධර්ම සංගායනාවක් කරවන්නට ඒ සියලූ භික්ෂු සංඝයා අතරින්,
62. අර්ථ, ධර්ම, නිරුක්ති, ප‍්‍රතිභාන යන පටිසම්භිදාලාභී ත‍්‍රිපිටකධාරී රහතන් වහන්සේලා හත්සිය නමක් තෝරාගත් සේක.
63. ඒ සියලූ රහතන් වහන්සේලා කාලාශෝක
නරේන්ද්‍රයන් විසින් කරන ලද රැකවරණ සහිත වූ වාලූකාරාමයෙහි රේවත මහරහතන්
වහන්සේ මුල්කොට ගෙන ධර්ම සංගායනාව කළ සේක.
64. කලින් ප‍්‍රථම ධර්ම සංගායනාවෙහි කරන ලද අයුරින් ම මේ ධර්මය ප‍්‍රශ්න ඇසීම ද, විමසීම ද ආදිය කොට අට මසකින් සංගායනාව නිම කළ සේක.
65. මේ අයුරින් දෙවෙනි ධර්ම සංගීතිය කළ මහා කීර්ති ඇති, දොස් රහිත වූ ඒ රහතන් වහන්සේලා ද සුදුසු කල්හි පිරිනිවන් පා වදාළහ.
66. මේ අයුරින් උතුම් ප‍්‍රඥාවෙන් යුක්ත
වූ, ලොව්තුරු ගුණයන් පමුණුවා ගන්නා ලද, භවත‍්‍රයවාසීන් හට සෙත සලසන
ලෝකනාථයන් වහන්සේගේ පුත‍්‍ර වූ රහතන් වහන්සේලාගේ පිරිනිවන් පෑම නම් වූ මරණය
සිහිකොට සාර රහිත වූ සංඛත ධර්මයන්ගේ ස්වභාවය නුවණින් විමසා ධර්මයේ හැසිරීම
පිණිස අප‍්‍රමාදී විය යුත්තේ ය.
- හුදීජන පහන් සංවේගය පිණිස කරන ලද මහාවංශයෙහි ද්විතීය ධර්ම සංගීතිය නම් වූ පස්වෙනි පරිච්ඡේදය නිමා විය. -
මහාවංශය 6
01. මුලින් ම මහා කස්සප මහරහතන් වහන්සේ ආදි උතුම් රහතන් වහන්සේලා විසින් කරන ලද ධර්ම සංගායනාව ‘ථේරවාදය’ යැයි කියනු ලැබේ.
02. මුල සිට වර්ෂ සියයක් ම පැවතුණේ එක ම ථේරවාදය යි. ඉන් පසු ව වෙනත් ආචාර්යවාදයෝ පහළ වූහ.03. දෙවන ධර්ම සංගායනාවේ දී රහතන් වහන්සේලා විසින් නිග‍්‍රහ කොට බැහැර කරන ලද පාපී භික්ෂූන්ගේ ගණන දස දහසකි.
04. ඔවුහු ‘මහාසංගීති’ නාමයෙන් ආචාර්යවාදයක් ආරම්භ කළහ. එම මහාසංගීතිවාදී භික්ෂූන්ගෙන් ‘ගෝකුලික’ නමින් ද ‘ඒකබ්බෝහාරික’ නමින් ද විශ්වාස දෙකක එල්බගත් භික්ෂූන් දෙපිරිසක් භින්න වූහ.
05. එහි ගෝකුලික භික්ෂූන්ගෙන් ‘ප‍්‍රඥප්තිවාද’ නමින් භික්ෂු පිරිසක් ද ‘බාහුලික’ නමින් මත ගත් භික්ෂු පිරිසක් ද බිහි වූහ. ඒ භික්ෂූන්ගෙන් ම ‘චේතිවාදය’ නම් වූ අන්‍ය මතයක් ගත් භික්ෂු පිරිසක් ද බිහි වූහ. ඒ සියලූ භික්ෂු නිකාය හය ම අයත් වන්නේ මහා සංඝිකයන්ට ය.
06. යළිදු ථේරවාද භික්ෂූන්ගෙන් ‘මහිංසාසක’ නමින් භික්ෂු පිරිසක් ද ‘වජ්ජිපුත්තක’ නමින් භික්ෂු පිරිසක් ද වශයෙන් වෙන් වී ගියහ.
07. ඒ වජ්ජිපුත්තක භික්ෂූන්ගෙන් ‘ධම්මුත්තරිය’ නමින් භික්ෂු පිරිසක් ද ‘භද්‍රයානික’ නමින් භික්ෂු පිරිසක් ද ‘ඡුන්නාගාරික’ නමින් භික්ෂු පිරිසක් ද ‘සම්මිතීය’ නමින් භික්ෂු පිරිසක් ද වෙන් වී ගියහ.
08. මහිංසාසක භික්ෂූන්ගෙන් ‘සර්වාස්තිවාදී’ නමින් භික්ෂු පිරිසක් ද ‘ධම්මගුත්තිය’ නමින් භික්ෂු පිරිසක් ද වශයෙන් දෙකොටසකට බෙදී ගියහ.
09. යළිත් සර්වාස්තිවාදී භික්ෂූන්ගෙන් ‘කස්සපීය’ නමින් භික්ෂු පිරිසක් කැඞී ගියහ. ඒ කස්සපීය භික්ෂූන්ගෙන් ‘සංක‍්‍රාන්තික’ නමින් භික්ෂු පිරිසක් ද ඒ භික්ෂූන්ගෙන් ‘සූත‍්‍රවාද’ නමින් භික්ෂු පිරිසක් ද වෙන් වී ගියහ.
10. මෙසේ ථේරවාදය සමඟ එයින් වෙන් වී ගිය නිකායන් ද එක් කළ විට දොළොසකි. කලින් කියන ලද මහා සාංඝිකවාදීන්ගේ නිකාය සය සමඟ සියල්ල දහ අටකි.
11. මෙසේ සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර දෙසීයක් ගිය කල ථේරවාදය ඇරුණු කොට මතවාද දහහතක් විය. ඉන් මෑත ආචාර්යවාදයෝ උපන්හ.
12. එනම් ‘හේමවත’ භික්ෂූහු ය. ‘රාජගිරික’ භික්ෂූහු ය. එමෙන් ම ‘සිද්ධාර්ථික’ භික්ෂූහු ය. ‘පුබ්බසේලික’ භික්ෂූහු ය. ‘අපරසේලික’ භික්ෂූහු ය.
13. එමෙන් ම ‘වාජිරික’ භික්ෂූහු ය. මෙසේ නිකාය සයකට බිඳී ගිය සියලූ සඟ පිරිස ජම්බුද්වීපවාසී භික්ෂූහු වෙති. එමෙන් ම ලංකාද්වීපවාසී භික්ෂූන් ද ‘ධර්මරුචික’ වශයෙනුත්, ‘සාගලික’ වශයෙනුත් කොටස් දෙකකට කැඞී ගියහ.
14. කාලාශෝක රජතුමාගේ පුත‍්‍ර වූ සොයුරන් දහ දෙනෙක් වූහ. ඔවුහු වසර විසි දෙකක් ජම්බුද්වීපයෙහි රාජ්‍යානුශාසනා කළහ.
15. ඒ දසබෑ රජුන්ට අනතුරුව නන්දරාජ පරම්පරාවෙහි නව දෙනෙක් පිළිවෙළින් රජ කළහ. ඔවුහු ද වසර විසි දෙකක් රාජ්‍යානුශාසනා කළහ.
16. ‘මෞර්ය’ නම් වූ රාජවංශයෙහි උතුම් ශ‍්‍රී දරණ චන්ද්‍රගුප්ත නමින් ප‍්‍රසිද්ධ කුමාරයෙක් උපන්නේ ය. එහි දී චානක්‍ය නම් බ‍්‍රාහ්මණ පුරෝහිතයෙක්,
17. නන්දරාජ පරම්පරාවේ නව වැනියා වූ ධනනන්ද රජුව චණ්ඩ වූ ක්‍රෝධයෙන් යුතු ව ඝාතනය කරවා සකල ජම්බුද්වීපයට චන්ද්‍රගුප්ත කුමාරයා රාජාභිෂේක කර වී ය.
18. ඒ චන්ද්‍රගුප්ත රජතෙමේ විසි හතර වර්ෂයක් ජම්බුද්වීපයෙහි රජ කළේ ය. ඔහුගේ පුත‍්‍ර වූ බිංදුසාර කුමරු රජ බවට පැමිණ විසි අට වර්ෂයක් රජකම් කළේ ය.
19. ඒ බිංදුසාර රජු හට ප‍්‍රසිද්ධ වූ පුත් කුමාරවරු එකසිය එක් දෙනෙක් වූහ. ඔවුන් අතුරින් පුණ්‍ය තේජසින් ද බල ඍද්ධියෙන් ද යුක්ත වූ අශෝක නම් කුමාරයෙක් වූයේ ය.
20. ඒ අශෝක රාජකුමාර තෙමේ වෙනත් මව්වරුන්ගෙන් උපන් අනූනවයක් සහෝදර කුමාරවරුන් මරවා සකල ජම්බුද්වීපයට තනි රජෙක් බවට පත්වූයේ ය.
21. සර්වඥයන් වහන්සේගේ පරිනිර්වාණයෙන් වර්ෂ දෙසිය දහඅටක් අශෝක රජුගේ අභිෂේකයට පෙර ගෙවී ඇති බව දත යුත්තේ ය.
22. වර්ෂ හතරකට පසු ව මහා කීර්තිඝෝෂා ඇති අශෝක රජු විසින් පාටලීපුත‍්‍ර නගරයෙහි තමන්ගේ අභිෂේකය සිදු කරන ලදි.
23. අශෝක අධිරාජ්‍යයාගේ රාජාභිෂේකයත් සමඟ ම ආකාශයෙහි ද පොළවෙහි ද යොදුනක් යොදුනක් පාසා නිරන්තරයෙන් ම පවතින රාජ ආඥාව බලපැවැත් වී ය.
24. දිනපතා අනවතප්ත විලෙන් පැන් අට කදක් දෙවියෝ රැගෙන ආහ. රජතෙමේ ජනයා හට ද ඒවා බෙදා දුන්නේ ය.
25. එමෙන් ම දෙවිවරු ම හිමාල පර්වතයෙන් නොයෙක් දහස් ගණනකට පාවිච්චි කළ හැකි පරිදි නාලිය දැහැටි ගෙන ආහ.
26. එමෙන් ම බෙහෙත් නෙල්ලි ද බෙහෙත් අරළු ද උත්තම වූ වර්ණයෙන් හා සුවඳින් යුක්ත වූ අඹ ඵල ද හිමාලයෙන් ගෙන ආහ.
27. පංච වර්ණයෙන් යුක්ත වස්ත‍්‍ර ද සිනිඳු අත්පිස්නාවන් ද දිව්‍ය වූ පාන වර්ග ද හිමාලයෙහි ඡුද්දන්ත විලෙන් ගෙන ආහ.
28. ඒ පාටලීපුත‍්‍ර නගරයෙහි මැරෙන්නා වූ මුවෝ ද ඌරෝ ද ලිහිණියෝ ද රජුගේ මුළුතැන්ගෙයි සමීපයට අවුත් තුමූ ම මිය යති.
29. (රාජානුභාවයෙන් ලත් අමනුෂ්‍ය බලවේගයන් නිසා) ව්‍යාඝ‍්‍රයෝ මැදිහත් වූ ගවයන් ව ගොදුරු කවා ගවගාලට රැගෙන එති. කෙත් වත් විල් ආදිය ආරක්ෂා කරන්නෝ මුවෝ හා ඌරෝ ය.
30. සමන් මල් වැල් ද දිව්‍යමය මහනෙල් ද සුවඳ විලවුන් ද අඳුන් ද නාගයෝ නා විමනින් ගෙන ආහ.
31. ගිරව් ඡුද්දන්ත විලෙන් දිනපතා ඇල් වී ගැල් අනූදහසක් ගෙන ආහ.
32. රජ ගෙයි වසන මීයෝ ඒ ඇල් වී නො කැඩෙන පරිදි පොතු ගලවා පිරිසිදු සහල් උපදවා දෙති. රාජකුලය අනුභව කරන්නේ එයින් ලත් බතයි.
33. ඒ රජ හට නිරතුරුව ම මී මැස්සෝ මී වද බැන්ඳාහු ය. එසේ ම රජුගේ කම්මල්වල වලස්සු කුළු ගැසූහ.
34. මනෝරම්‍ය වූ මධුර ස්වරයෙන් යුතු ව කුරවී කෙවිල්ලෝ පැමිණ අශෝක අධිරාජ්‍යයා හට මිහිරි වූ නාද කළහ.
35. රාජාභිෂේක ලද අශෝක අධිරාජ තෙමේ තිස්ස නම් වූ තම බාල සහෝදරයා යුවරජ තනතුරෙහි අභිෂේක කළේ ය.
- හුදීජන පහන් සංවේගය පිණිස කරන ලද මහාවංශයෙහි ධර්මාශෝක අභිෂේකය නම් වූ පස්වෙනි පරිච්ජේදයෙහි කොටසකි.
මෙම පිටව facebook eke share kranna
ReplyDelete