අවුරුදු දොළොස්දාහක් වයසැති මී මුත්තා
2012
ජූනි මස 24 12:39:17 | ලංකාදීප කර්තෘ මණ්ඩලය
හාත්පස පැතිර පවත්නේ මහා ඝන වනාන්තරයයි. ඒ මධ්‍යයේ ඇති දැවැන්ත ගල් කුළ පතාක යෝධයකු මෙන් ඈතට දිස්වේ. ගලට පහළින් දුම්රොටු සමූහයක් ඉහළට නගිනු පෙනේ. ඒ සමගම පරිසරය පුළුටු ගඳකින් වෙලී යයි.
අසල ඇති දොළේ මාළුවකුට පහර දෙමින් සිටි කුඩා කොළු ගැටයාගේ බඩගින්න මේ පුළුටු ගදත් සමග දෙගුණ තෙගුණ වී ගියේය. ඔහු මින් පෙර අල්ලාගත් කුඩා මාළුවා ද රැගෙන ලහි ලහියේ කන්ද තරණය කරන්නට වූයේ තමන්ගේ ආයුධ කට්ටලය ද එක් අතකින් අල්ලාගෙනය. කන්ද උඩට නගින කොළු ගැටයාට ඈත වන්නාතර ඉම දෙසින් දුම් රොටු නගින ස්ථාන කිහිපයක් දැක ගන්නට ලැබේ. තම වරිගයේ ඥාතීන්ගේ දිවා ආහාරය සූදානම් වන්නේ ඒ ආකාරයෙනි.
ශී‍්‍ර ලංකාවේ ඝර්ම කලාපීය වනාන්තර සිය වාසභූමිකැරගත් මානවයෝ තමන්ගේ ආහාර වේල එසේ සකස් කර ගත්හ. අදින් වසර 38000 ට පෙරාතුව ගින්දර භාවිතා කරමින් මස් හා ගස් ගෙඩි පුච්චා කමින් බුලත්සිංහල පාහියන්ගල ලෙනේ විසූ ප‍්‍රාග් ඓතිහාසික මානවායගේ ජීවන චරිතයේ තවත් පැතිකඩක් පසුගියාදා අනාවරණය විය.
ඒ අපේ මුතුන් මිත්තන්ගේ අඛණ්ඩ ඉතිහාසයයි. තුරු මතින් බිමට බැස ශිෂ්ඨාචාරගත වූ මුල් අවධියේ පටන් නූතන දියුණු මිනිසා බවට පත්වන තුරු අඛණ්ඩව පාහියන්ගල ගල්ලෙනේ විසූ නූතන මානවයාගේ පැරණිතම ඥාතියකුගේ සම්පූර්ණ සැකිල්ලක් පාහියන්ගල ලෙනෙන් හමුවීම මානව ඉතිහාසයේ ස්වර්ණමය සොයා ගැනීමකි.
පාහියන්ගල ලෙනෙන් ප‍්‍රාග් ඓතිහාසික මානවයාගේ අස්ථි කොටස් හමුවූයේ අද ඊයේ නොවේ. අදින් දශක තුනකට පමණ පෙර පටන් වරින් වර එහි කරන ලද කැණීම් වලදී ප‍්‍රාග් ඓතිහාසික මානවයන් 11 දෙනකුගේ යැයි විශ්වාස කළ හැකි අස්ථිමය අවශේෂ වරින් වර හමුව තිබේ.
එවැනි අස්ථි කොටස් හමුවුව ද මෙවර සම්පූර්ණ ඇටසැකිල්ලක් හමුවීම ඉතාමත්ම වැදගත් සොයා ගැනීමකි.
කි‍්‍රස්තු වර්ෂ පස්වැනි සියවසේ ශී‍්‍ර ලංකාවට පැමිණියායැයි සැළකෙන පාහියන් නම් භික්ෂුව නවාතැන් ගෙන සිටි ලෙන පාහියන්ගල ලෙන නමින් ව්‍යවහාරයට එක්විය. ඒ බව සනාථ කිරීමට ප‍්‍රමාණවත් සාධක නොමැති මේ ලෙන මෙරට දැකිය හැකි විශාලතම ලෙන බව පිළිගැනීමයි. මුහුදු මට්ටමේ සිට අඩි 400 ක් පමණ ඉහළින් පිහිටා ඇති මෙහි උස අඩි 150 ක් පමණ වේ. අඩි 175 ක් පළලැති මේ ලෙනෙහි ගැඹුර අඩි 280 කි.
1986-87 කාලයේදී හා 2008-2009 කාලයේදී කරන ලද කැණීම් වලදී මෙහි වසර 38,000 ක් පමණ පැරණි මානව අවශේෂ හමුවී තිබේ.
පාහියන්ගල ගල්ලෙන පිළිබඳ පුරාවිද්‍යා කැණීම් අධ්‍යක්ෂ ආචාර්ය නිමල් පෙරේරා මහතා මෙසේ කීවේය.
පාහියන්ගල කියන්නේ දකුණු ආසියාවේදී නූතන හෝමෝ සේපියන්ස් මානවායාගේ පැරණිතම සාධක හමුවන ස්ථානය. ඒ නිසා ශී‍්‍ර ලංකාවට පමණක් නොවෙයි මුළු මහත් ලෝකයටම මෙම ස්ථානයේ කරන සොයාගැනීම් වැදගත් වනවා. ආචාර්ය ශිරාන් දැරණියගල මහතා විසින් ආරම්භ කරන ලද ශී‍්‍ර ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික තොරතුරු සෙවීමේ වැඩපිළිවෙල යටතේ මෙහි හයවන අදියර කැණීම් ආරම්භ කළා. මේ කැණීමේදී තමයි සම්පූර්ණ මානව ඇට සැකිල්ල හමුවුනේ.
පුරාවිද්‍යාඥයන් පවසන්නේ 1986 දී එවකට කැණීම් අධ්‍යක්ෂවරයාව සිටි ආචර්ය ඩබ්ලිව්.එස්.විජේපාල මහතා විසින් ප‍්‍රාග් ඓතිහාසික පස් තට්ටු හතරක් විශ්ලේෂණය කැර තිබූ බවයි. අදින් වසර 25 කට පමණ පෙර එම කැණීම් කරන අවධියට වඩා දැන් පුරාවිද්‍යා කැණීම් වලදී භාවිතා කරන තාක්ෂණික ශිල්පිය ක‍්‍රමයන් බොහෝ සෙයින් දියුණු වී තිබේ.
මෙලෙස ලබා ඇති දියුණුව ප‍්‍රයෝජනයට ගත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තු නිලධාරීහු ආචාර්ය විජේපාල මහතා විසින් විශ්ලේෂණය කරන ලද පස්තට්ටු හතර සියුම් පරීක්ෂණයන්ට භාජනය කරමින් ප‍්‍රාග් ඓතිහාසික පස් තට්ටු 125 කට වෙන්කළහ.
‘‘ අදින් වසර 38,000 සිට 4,000 දක්වා වූ පස්තට්ටු හතර ජනාවාස යුග හතරක් විශ්ලේෂණය කර තිබුණත් මෙවර කැණීම් වලින් පස්තට්ටු 125 ක් හඳුනාගැනීමට හැකිවීම ඉතාමත්ම වැදගත් දෙයක්. ඒ අනුව අපිට ඉතාමත්ම සියුම් පරීක්ෂණ වලින් තවත් වැදගත් සාධක රැසක් සොයා ගැනීමට හැකියාව ලැබුණා.
ආචාර්ය නිමල් පෙරේරා මහතා වැඩිදුරටත් එසේ කීවේය.
කැණීම් ආරම්භ කළ පර්යේෂකයෝ පැරණි කැණීම් වලේ බටහිර පැතිකඩ මීටර තුනක ප‍්‍රමාණයකින් පළල් කිරීමට කටයුතු කළහ. එලෙස පුළුල් කරගෙන යන කැණීම් වළෙහි මීටර එකහමාරකට ආසන්න ප‍්‍රමාණයක් ගැඹුරට යද්දී වෙනත් ස්ථානයක තිබී තැන්පත් කරන ලදැයි සිතිය හැකි ගල් කැබලි කිහිපයක් හමුවිය. ගල් කැබලි වලට යටින් එක් පසෙකින් මානව දත් කිහිපයක් මතුවන්නට විය.
එය තැන්පත්ව ඇති ආකාරයට කිසිදු හානියක් නොවන ආකාරයෙන් අවට සියුම් ලෙස කැණීම් කරගෙන යද්දී දක්නට ලැබුණේ සම්පූර්ණ මානව සිරුරක් එහි දක්නට ලැබෙන බවයි. වැළලී සිටින මානවයාගේ හිසට ඉහළින් ගල්පතුරු තබා ඇතත් ඔහුගේ එකිනෙක පැටලී ඇති දෙපා මනාව මතුකැර ගැනීමට පුරාවිද්‍යාඥයෝ සමත්වූහ.
පර්යේෂණ ව්‍යාපෘති භාර නිලධාරී ඩබ්ලිව්.එම්.සී.ඔෂාන් වෙදගේ මහතා ඒ පිළිබඳ මෙසේ කීවේය.
‘‘ මේක ප‍්‍රාග් ඓතිහාසික මානව වංශ කථාවේ ඉතාමත්ම වැදගත් සොයා ගැනීමක්. මෙතැන මිහිදන්වූ මිනිසාගේ සම්පූර්ණ ඇටසැකිල්ලක් තිබෙන බව ඉතාමත්ම පැහැදිලිය. මෙය අපි හැකිතාක් මතුකැර ගත්තා. ඇට සැකිල්ල හොඳ තත්ත්වයේ තිබෙන බව පෙනෙන්ට තිබෙනවා. ’’
ආචාර්ය නිමල් පෙරේරා මහතා පවසන්නේ ඇට සැකිල්ල එම ස්ථානයෙන් ඉවත් කිරීම නවීන විද්‍යාත්මක ක‍්‍රමවේදයන් භාවිතා කරමින් සියුම්ව කළයුතු කාර්යයක් බවයි.
‘‘ අපි ඇටසැකිල්ල එම ස්ථානයෙන් ඉවත් කිරීමට කටයුතු කළොත් එයට හානි සිදුවිය හැකියි. ඒ නිසා අපි මේ සඳහා විදේශීය විශේෂඳයන්ගේ සහයෝගය ලබාගැනීමට බලාපොරොත්තු වනවා. කලින් මේ ස්ථානයෙන් හමුවූ මානව අස්ථි විශ්ලේෂණය කළේ කෝනල් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය කේ.ඒ.ආර්.කෙනඩි මහතා විසින්. අපේ රටේ ඔවුන්ගේ තරම් දියුණු තාක්ෂණික උපකරණ නැහැ. ඒ නිසා මෙවරත් එලෙස විදෙස් සහයෝගය ලබාගැනීමට අප කටයුතු කරනවා. දැනටමත් ඒ සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කරල තියෙන්නේ. ’’
ඔෂාන් වෙදගේ මහතා මහතා පවසන්නේ කලින් කරන ලද කැණීම් වලින් තහවුරු වූ තොරතුරු අනුව මෙම ඇටසැකිල්ල අයත් මානවයා අදින් වසර 12,000 ට පෙරාතුව ජීවත් වූ අයකු විය හැකි බවයි.
‘‘ කැණීම් කරගෙන යද්දී මේ මානව ඇටසැකිල්ල හමුවූ ස්ථානයේ පස් මානව කි‍්‍රයාකාරකම් හේතුවෙන් වෙනස්කම් වලට භාජනය නොවූ බව පැහැදිලි වුනා. ඒ මානවයා විසින් භාවිතා කළ ගල් ආයුධ, ආභරණ මෙන්ම ඔහු ආහාරයට ගත් ද්‍රව්‍ය පවා අපිට හුමුවුනා. පස් ස්ථරය, ගල් ආයුධ සකස් කැර ඇති ආකාරය සැළකිල්ලට ගැනීමේදී අපිට දළ වශයෙන් මානවයා ජීවත් වූ කාලය ගැන තීරණයක් ගත හැකියි. නමුත් එය ස්ථිරවම තීරණය කිරීමටනම් කාලනිර්ණය කිරීමට සිදුවනවා. ’’
පුරාවිද්‍යාඥයන් පවසන්නේ මේ ඇටසැකිල්ල අයත් මානවයා මියගිය පසු ඔහුගේ හෝ ඇගේ ඥාතීන් විසින් මෙම ස්ථානයේ මිහිදන් කොට හිස ඇති ස්ථානයේ ගල් පතුරු කිහිපයක් තබා ඇති බවයි. නොගැඹුරු වළක මිහිදන් කොට ඇතත් ඉන් අනතුරුව එම ස්ථානය නැවත නැවතත් තම වාසස්ථාන ලෙස භාවිතා කළ බවට ද කැණීම් වලදී සාක්ෂි හමුවී තිබේ.
වැළලූ මානවයා ආසන්නයේම ලිප් බැඳ ගිනිමොළවා ඇති බව එම ස්ථානයේ පිළිස්සී ගොස් ඇති පස් කොටස් ඇතුළු අවශේෂයන්ගෙන් පැහැදිලි වේ.
මේ සොයා ගැනීමේදී අපගේ ආදි ප‍්‍රාග් ඓතිහාසික මානවයකු මියගියාට පසු අනුගමනය කළ අභිචාරවිධි පිළිබඳ මෙහිදී අපට තීරණයට එළඹීමේ හැකියාව තිබෙනවා. ඒ වගේම සියුම පර්යේෂණ කිරීමෙන් ඔහු ගේ බඩවැල් කොටස් දිරාපත්ව ඇති ආකාරය. සිරුරේ අනෙක් කොටස් වල රසායනික අවශේෂයන් පවා විශ්ලේෂණය කරමින් ආහාර රටාව, ජීර්ණමය හැකියාවන් පමණක් නොවේ වැළඳී ඇති ලෙඩ රෝග පිලිබඳ පවා අපට නිගමනය කිරීමට හැකියාව තිබෙනවා. ආචාර්ය නිමල් පෙරේරා මහතා එසේ කීවේය.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සත්ත්ව විද්‍යා විශ්ලේෂක ජූඞ් පෙරේරා මහතා එම මානවයා විසින් ආහාරයට ගත් සතුන්ගේ අස්ථි කොටස් විශාල ප‍්‍රාණයක් විශ්ලේෂණය කර තිබිණි.
ඒ අතර මේ වනවිට ශී‍්‍ර ලංකාවේ දැකිය නොහැකි ව්‍යාඝ‍්‍රයාගේ අස්ථි කොටසක් ද දක්නට ලැබීම විශේෂත්වයකි. වඳුරන් ඇතුළු සියළුම ආකාරයේ වානරයන්, මුගටි, තලගොයි, ඉත්තෑවුන්, දඩු ලේනුන්, සර්පයන්, මසුන් හා බෙල්ලන් බහුල වශයෙන් ආහාරටය ගෙන ඇති මේ ප‍්‍රාග් ඓතිහාසික මානවයා මිහිතලයේ දැවැන්තයා වූ අලින් ද මරා කා ඇති බවට අස්ථිමය සාධක ලැබී තිබේ.
ඔහු වැඩිදුරටත් මෙසේ කීවේය.
මේ මානවයාගේ ආහාර අතර මුහුදු බෙල්ලන්, මිරිදිය බෙල්ලන් හා ගස් බෙල්ලන් ද සිටිනවා. ඒ වගේම මෝර දත් හමුවුනා. බොහෝ අවස්ථාවලදී ආදි මානවයා තමන්ගේ ආභරණ ලෙස මෝරදත් යොදාගෙන තිබෙනවා. ඒ අනුව අපට පැහැදිලියි පාහියන්ගල සිටි මානවයා පවා මුහුදු බඩ ප‍්‍රදේශ සමග සම්බන්ධතා පැවැත්වූ බව. ඒ වගේම කැකුණ ඇට පුළුස්සා ආහාරයට ගෙන තිබෙනවා.
ආචාර්ය නිමල් පෙරේරා මහතා කියා සිටියේ බෙල්ලන්ගේ කවච අතර ලූණු බෙල්ලන්ගේ කවච පවා දක්නට ලැබුණු බවයි. ලූණු බෙල්ලන් මේ අතර සිටීමෙන් පාහියන්ගල ලෙනේ විසූ ආදි මානවයන් ලූණු රස හඳුනන මානවයකු බව ද ඇතැම් විට පිළිස්සූ මස් ලූණු සමග මිශ‍්‍ර කරන්නට ඇති බවට ද ඔහු සැක පහළ කළේය.
විවිධ ප‍්‍රමාණයේ හා විවිධ හැඩයේ ගල් ආයුධ හා ක්ෂුද්‍ර ශිලා මෙවලම් රැුසක් හමුවී ඇති මෙහි ආයුධයක් ලෙස භාවිතා කළ ගෝන අගක කොටසක් ද හමුවීම විශේෂත්වයකි. එමෙන්ම ඉතාමත්ම පිරිසිදු තත්ත්වයේ පවතින මිනිරන් කැබලි කිහිපයක් ද හමුවී තිබේ. අදින් වසර 12,000 ට පෙර සිරිලක සිටි ප‍්‍රාග් ඓතිහාසික මානවයා තම ආභරණ ලෙස මිනිරන් කොටස් භාවිතා කළ බවට එය හොඳ සාක්ෂියකි.
හමුවූ ඇට සැකිල්ල අසලින් ඉතාමත් සියුම්ව තෝරාබේරාගන්නා ලද කාබන් නියැදි හතරක් වෙන්කැරගෙන තිබේ. ඒවා ඇමරිකාවේ ෆ්ලොරිඩා හි නියාම් රසායනාගාරයට යැවීමට නියමිතව තිබේ.
පසුගිය බ‍්‍රහස්පතින්දා සවස මේ මානව සැකිල්ල යළි වසා දැමුණි. ඉදිරි දිනක විදෙස් පර්යේෂකයන් පැමිණ එහි පර්යේෂණ කටයුතු ආරම්භ කරනතුරු මුද්‍රා තැබෙනු ඇත.
ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍ය ජගත් බාලසූරිය මහතාගේ මගපෙන්වීමෙන්, අමාත්‍යාංශ ලේකම් කාන්ති විජේතුංග මහත්මියගේ කි‍්‍රයාකාරී දායකත්වය ද අතිරේක ලේකම් සමරසිංහ මහතාගේද සහයෝගය ඇතිව මෙම කැණීම් කටයුතු සඳහා ඉතාමත් ඉහළ රාජ්‍ය අනුග‍්‍රහයක් ලැබෙන බව ද එය ඉදිරි කටයුතු සඳහා අයෝමය ශක්තියක් බව ද කැණීම් ස්ථානයේ සිටින පුරාවිද්‍යාඥයෝ පවසති.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහතා සහ කැණීම් උපදේශක ආචාර්ය ශිරාන් දැරණියගල මහතා මෙහි කටයුතු නිරන්තරවම අධීක්ෂණය කරති. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කැණීම් අධ්‍යක්ෂ ආචාර්ය නිමල් පෙරේරා මහතාගේ නායකත්වයෙන් ඩබ්ලිව්.එම්.සී. ඔෂාන් වෙදගේ මහතා පර්යේෂණ ව්‍යාපෘතිය භාරව කටයුතු කරයි.
පාලිත වීරසිංහ මහතා, කමල් නන්ද සිරිසේන මහතා, යූ.ඩබ්ලිව්.කරුණාරත්න මහතා, සමන් කුමාර ඇරෑගම මහතා, සුසන්ත නිහාල් මහතා, ඒ.වී.ඒ.ද මෙල් මහතා, පී.ජී.ගුණදාස මහතා, එච්.ජූඞ් පෙරේරා මහතා, කේ.පී.රුවන් ප‍්‍රමෝද් මහතා සහ කේ.පී.සුමනදාස මහතා පාහියන්ගල ගල්ලෙන් විහාරස්ථානයේ කඳවුරු බැද මාස හයක කාලයක සිට කැණීම් කටයුතු වල නිරත වෙති.
ඔවුන් සියල්ලෝම තම ගෙවල් දොරවල් ඇතුළු පෞද්ගලික දිවියට මදකට අමතක කොට තිබේ. හිමිදිරි පාන්දර තම අහර කිස සාදා ගෙන පාහියන්ගල ගල් ලෙනට නගින ඔවුත් නැවත ආපසු පහළට එන්නේ මළ හිරු බැස ගිය පසුය. රාති‍්‍රයේ කරවල හොද්ද ඇතළුපහසුවෙන් සපයා ගත හැකි ව්‍යංජනයක් ඔවුන්ගේ ආහාරය වී ඇත්තේ නිවෙස් වල රස මසවුළු පිසෙද්දීය.
තම සැපවත් දිවිය මදකට අමතක කොට ඔවුන් මේ වෙහෙසෙන්නේ අදින් වසර 12,000 ට පෙරාතුව තම මව මස් පුළුස්සන සුවඳට ලොල් බැඳ පාහියන්ගල ලෙනේ තම නිවස්නට දිවගිය කොළු ගැටයාගේ පරපුරේ කතාන්තරය අනාවරණය කිරීමේ කාර්යය වෙනුවෙනි.
No comments:
Post a Comment